පරිවර්තනප්‍රධාන පුවත්

[ආර්ථික] වර්ධනයේ අපෝහකය

මාක්ස් ප්‍රථමයෙන්ම තාක්‍ෂණය අගය කරන්නෙකු වූ බවත් ඔහු එය ‘පවතින දෙයෙහි පදනම සහ අනාගතයේ එන්ජිම’ ලෙස සැලකූ බවට සුරංගනා කතාවක් තිබේ.[1] මෙම සුරංගනා කතාව අසංඛ්‍යාත වාරයක් ප්‍රතික්ෂේප කර ඇතත්, මිනිසුන් දිගටම එය විශ්වාස කරති. මීඩෝස් වාර්තාව (Meadows Report) සහ Sicco Mansholt ගේ සුප්‍රසිද්ධ ලිපියක් ඇතුළත් වාර්තාව යුරෝපීය කොමිසමේ, ප්‍රකාශයට පත්කිරීමෙන් පසුවත් එම කතාව නැවතත් හිස ඔසවන්නට විය.[2] කෙසේ වෙතත්, මෙම ආකල්පය හැර මාක්ස්වාදයේ චින්තනයෙන් සහ සම්ප්‍රදායෙන් තවත් කිසිවක් ඉවත් කළ නොහැක, නමුත් මෙම සුරංගනා කතාවට මාක්ස්වාදය යටත් කරන ‘දරුණු අශිෂ්ටයන්’ කිහිප දෙනෙකු අර්ධ වශයෙන් එයට වගකිව යුතු බව අප පිළිගත යුතුය.

මාක්ස්ගේ දැක්ම අනුව මිනිස්කම මනුෂ්‍යත්වයේ අරමුණයි. මෙහිදී මිනිසා යනු මිනිස් සමාජයට වඩා වැදගත් යැයි සැලකිය හැකි වියුක්ත මූලධර්මයක් නොවේ. සදාචාරාත්මක හෝ  දිව්‍යමය ප්‍රතිපත්ති, ‘ආර්ථික වර්ධනය’, ‘අඛණ්ඩ දියුණුව’, ‘ඉතිහාසයේ අරුත’ යනාදිය මිනිසාට වඩා උසස් මූලධර්ම නොවේ.

‘මනුෂ්‍යයා’ යන්නෙන් මාක්ස් අදහස් කරන්නේ ‘උසස්’ යැයි සැලකෙන ‘ජාතීන්’, ජාතීන් හෝ පුද්ගලයන්  නොව සියලු මිනිසුන් ය. එබැවින්, මානව වර්ගයාගේ එකම ඉරණම වනුයේ [මිනිසාගේ] සම්පූර්ණ විභවය සාක්ෂාත් කරගැනීමයි. සෑමගේම මානව පෞරුෂය සම්පූර්ණයෙන් වර්ධනය කිරීම, පුද්ගලයන් ලෙස සහ සමාජ ජීවීන් ලෙස එකවර සලකා බැලීම. සියල්ලට පසු, අවසාන විග්‍රහයේ දී, මනුෂ්‍යත්වයේ සමිපත මානව සබඳතාවල සමෘද්ධියයි, වෙනත් වචනවලින් කිවහොත්, සමාජ සබඳතාවල සමෘද්ධියයි.

නිෂ්පාදන බලවේගවල වර්ධනයට මාක්ස් සැබවින්ම විශාල වැදගත්කමක් ලබා දෙයි – අද එම සංසිද්ධින් ‘ආර්ථික වර්ධනය’ ලෙස සාරාංශ ගත කල හැක – නමුත් ඔහු එසේ ප්‍රකාශ කරන්නේ මනුෂ්‍යත්වයේ මෙම අවසාන ඉරණම වන මිනිසත්බව දකිමිනි. සුරක්ෂිත ද්‍රව්‍යමය යටිතල ව්‍යුහයක් නොමැතිව සියල්ලන් සඳහාම ‘පොහොසත් සමාජ පෞද්ගලිකත්වයක්’ වර්ධනය විය නොහැකි බව පැහැදිලිය.[3] කොමියුනිස්ට්වාදී දරිද්‍රතාවය හෝ අල්පේච්ඡතාවාදය මාක්ස් තරයේ ප්‍රතික්ෂේප කරන්නේ, එවැනි ‘කොමියුනිස්ට්වාදයක්’ මනුෂ්‍යයත්වය විකෘති කරන, ඔවුන්ගේ දක්ෂතා වර්ධනය කර ගැනීමට නොහැකි, ඔවුන් ඉපදෙන පරිසරය තුළ ඔවුන් සිරකර, කුරිරු පාලනයට යටත් කරන බවත් දන්නා බැවිනි. මැඩපැවැත්විය නොහැකි ස්වාභාවික බලවේගයන් සහ දිළිලදුකම නිසා, ඔවුන්ගේ දැනුම සහ අවශ්‍යතා සම්පූර්ණයෙන් වර්ධනය කර ගැනීමට අවශ්‍ය ද්‍රව්‍යමය හැකියාව ඔවුන්ට අහිමි කරන බැවිනි.

මාක්ස්ට අනුව, නිෂ්පාදන බලවේගවල වර්ධනය (ආර්ථික වර්ධනය) ද්විත්ව විමුක්ති ව්‍යාපාරයක හැකියාව නිර්මාණය කරයි. එමගින් ස්වභාවික මෙන්ම සමාජ සීමාවන්ගෙන් මිදීමේ හැකියාව වැඩි කරගැනීමට හැකි වේ. මනුෂ්‍යත්වය විසින් ස්වභාවික සීමාවන් යම් ප්‍රමාණයකට ජයගෙන ඇති බැවින්, සමාජීය සීමාවන් මගින් ස්වභාවික සීමාවන් වැඩියෙන් ප්‍රතිස්ථාපනය වේ.

ද්‍රව්‍ය නිෂ්පාදනය මගින් ප්‍රජාවේ පැවැත්ම සඳහා අවශ්‍ය අවම සීමාව ඉක්මවා යා යුතුය. සැලකිය යුතු සහ ස්ථාවර ආහාර අතිරික්තයක් තිබිය යුතුය, සහතික කළ සමාජීය අතිරික්ත නිෂ්පාදනයක් තිබිය යුතුය: සංවර්ධිත ශ්‍රම විභජනයක් මතුවීමට අවශ්‍ය නම් මෙවැනි ද්‍රව්‍යමය පිළිබඳ පූර්ව විශ්වාසයක් තිබිය යුතුය. පොතපත, ශිෂ්ඨාචාරයන්, විද්‍යාවේ මූලික හැඩයන්, සාහිත්‍යය වැනි – විශේෂිත වෘත්තීන් සහ සංකීර්ණ ශිල්පීය ක්‍රම මතුවන්නේ ඉන් පසුව පමණි. භාෂිතයන්(කටවහර) ලෙස සරලව පහතට ගලායාමෙන් නොවේ. 

ශිල්පීන්, කලාකරුවන්, විද්‍යාඥයන්, දාර්ශනිකයන් පැවැතිය හැක්කේ ප්‍රමාණවත් නිදහස් කාලයක් පවතින විට පමණි. නමුත් ඒ අතරම, බුද්ධිමය ශ්‍රමය හා ශ්‍රමික ශ්‍රමය අතර වෙනසක් අවශ්‍යයය (එනම් විශේෂිතකරණය හා සංවර්ධනය සඳහා බුද්ධිමය ශ්‍රමය ලෙස වෙනසක්  අවශ්‍යයය). වහලුන් පාලනය කරන්නන්, පොලිසිය සහ වෘත්තීය සොල්දාදුවන්, නිෂ්පාදකයින්ගෙන් අතිරික්ත නිෂ්පාදනය ඩැහැගන්නා බදු අයකරන්නන් ද අපි දකිමු.  හිමිකාර පංතිය මෙම අතිරික්ත නිෂ්පාදනයෙන් වැඩි කොටසක් අයිතිකර ගනිති. (මෙම අවශ්‍යතාවය සඳහා උගත් පිරිසක් නඩත්තු කරති). එමෙන්ම සූරාකෑම සාධාරණීකරණය කරන නීති විශේෂඥයින් ද නඩත්තු කරති. මෙවන් සහ වෙනත් සංසිද්ධින් මගින් රාජ්‍යයක් (ජනතාව) පරාරෝපනය වීම සඳහා පදනම සකස් කරයි.

එවිට ආර්ථික වර්ධනය මනුෂ්‍යත්වයේ විමුක්තියේ එකම අර්ථය නොවන ලෙස එය මිනිසා විසින් කිසියම් කාල සීමාවකින් තොරව හෝ ජීවන තත්ත්වය පිළිබඳ කිසිදු සැලකිල්ලකින් තොරව ලුහුබැඳිය යුතු දෙයක් නොවන බව විස්තර කිරීමට ඔහුට සිදු නොවනු ඇත . නිෂ්පාදන බලවේගවල සංවර්ධනයම එහි අවසානය නොවන බවත් ඒ වෙනුවට එය මිනිසාගේ සංවර්ධනය සහතික කිරීමේ මාධ්‍යයක් පමනක් බවට සඳහන් කිරීම මාක්ස්ට සිදු නොවනු ඇත. එමෙන්ම නවීන තාක්‍ෂණයෙන් අත්පත් කරගත හැකි සමෘද්ධිමත් කොමියුනිස්ට්වාදය මෙම වර්ධනයේ ස්වයං ප්‍රතිඵලයක් යැයි සිතීමට ඔහුට නිසැකවම සිදු නොවනු ඇත. නිෂ්පාදන බලවේගවල උපරිම සංවර්ධනය සහ මානව ශක්‍යතාවල උපරිම වර්ධනය සරලව සමාන කිරීමක් මාක්ස්ගේ මනසේ තිබුණේ නැත. [4]

ප්‍රතිවිරුද්ධව නිශ්චිත ද්‍රව්‍යමය පදනමක් ස්ථාපිත වියහැකි කිසියම්  ඉදිරි මොහොතක් පිළිබඳව, මාක්ස්ගේ දෙනෙත් යොමුවූයේ නම් එම වැදගත්ම කාරනය සමාජය පිළිබඳවයි: එනම් සමාජ ව්‍යුහයේ සහ ජනතා මානසිකත්වයේ රැඩිකල් පරිවර්තනයයි. [5] මෙම පරිවර්තනය සිදු නොකළහොත්, නිෂ්පාදනයේ වර්ධනය තවදුරටත් සිදුකිරීමෙන් මානව ප්‍රගතිය සඳහා වන කොන්දේසි වැඩිදියුණු කිරීමට වඩා එය නරක අතට හැරීමේ තර්ජනයක් බවට පත්‍ වන බවයි.

මේ අර්ථයෙන් ගත් කල, මාක්ස් ‘මිනිස් ජීවිතයේ ගුණාත්මකභාවය’ පිළිබඳ ප්‍රශ්නය ඉහලින් අපේක්ෂා කළ අතර ධනේශ්වර නිෂ්පාදනය පාරිසරික සමතුලිතතාවයට එරෙහිව සිදු කරන අන්තරායන් අන් සියල්ලන්ටම පෙර හෙළි කළේය. වර්තමාන පරිසරවේදීන්ට වසර සියයකට පෙර ඔහු ප්‍රකාශ කළේ ධනවාදය විසින් නිෂ්පාදන බලවේග වර්ධනය සිදු කරන්නේ සියලු සමෘද්ධියේ අවසාන මූලාශ්‍ර දෙක වන ස්වභාව ධර්මය සහ මිනිසාගේ වටිනාකම පදනම් කරගෙන පමණක් බවයි. [6]

සියලු පූර්ව ධනේශ්වර සමාජයන්හි, සමාජ අතිරික්තය ප්‍රධාන වශයෙන් පරිභෝජන වටිනාකම් වල ස්වරූපය ගනී. ආර්ථික ආයතනයන්ට (ප්‍රාථමික කොමියුනිස්ට් සමාජවලදී නම් වංශ සහ ගෝත්‍රික ප්‍රජාවන්ට) නායකත්වය දෙන වත්කම් හිමි පංති විසින් නිෂ්පාදනය දියුණු කිරීමට උනන්දුවක් දක්වන්නේ ඔවුන්ගේ පරිභෝජනයට ඇති හැකියාවේ සීමාවන් තුළ පමණි, එනම් මෙම පරිභෝජන වටිනාකම් ඔවුන්ට අත්පත් කරගත හැකි ප්‍රමාණයට පමණි. මෙම පරිභෝජන හැකියාව ශාරීරිකව පමණක් නොව සමාජීය වශයෙන්ද සීමිතය. මෙම සීමාව තීරණය වන්නේ පවතින සමාජ-ආර්ථික ව්‍යුහයේ ප්‍රතිඵලයක් ලෙසින් අවශ්‍යතා සංකෝචනය වීම, නිෂ්පාදන පිළිබඳ දැනුම නොමැතිකම සහ මානව හැකියාවන්හි ඌන සංවර්ධනය මතය.[7] රීතියක් ලෙස, එහි ප්‍රතිඵලය වන්නේ ඉතා අඩු වර්ධන වේගය මෙන්ම නිෂ්පාදන බලවේගවල සංවර්ධන වේගයේ ඉතාමත් අඩු වීමය.

එහෙත් ධනේශ්වර ක්‍රමය තුළ සමාජ අතිරික්තයේ අතිරික්ත වටිනාකම මුල්‍ය ස්වරූපයක් ගනී. එපමනක් නොව, එය තවදුරටත් හිමිකාර පංතිවල ඵලදායි නොවන පරිභෝජනය සඳහා මූලිකව යොමු නොකෙරෙන අතර, සමුච්චය සඳහා යොමු කෙරේ. එකිනෙකා අතර තරඟය සහ පන්ති අරගලය නිසා ධනපතීන්ට මෙම අතිරික්ත වටිනාකමින් සැලකිය යුතු කොටසක් එකතු කරනු ලබන  ප්‍රාග්ධනය බවට පරිවර්තනය කිරීමට බල කෙරේ. මෙම තරඟය තුලින් – වෙනත් වචන වලින් කිවහොත්, නිෂ්පාදන මාධ්‍යවල පුද්ගලික අයිතිය නිසා – භාණ්ඩවල නිශ්පාදන මිල ගණන් නිරන්තරයෙන් අඩු කිරීමට ධනවාදීන්ට බල කෙරේ. ධනවාදය මානව ඉතිහාසයේ ප්‍රථම නිෂ්පාදන ක්‍රමය වන අතර, එය ස්වකීය තර්කනය – ස්වකීය සංවර්ධන නීති – නිරන්තරයෙන් තාක්‍ෂණය දියුණු කිරීමටත්, ශ්‍රමය වඩ වඩාත් යාන්ත්‍රික කිරීමටත්, ද්‍රව්‍ය නිෂ්පාදනයට විද්‍යාත්මක දැනුම යෙදවීමෙත් ප්‍රවණතාවක් පෙන්නුම් කරයි. මේ ආකාරයෙන්, ධනවාදය යනු නිෂ්පාදන ද්‍රව්‍යමය බලවේග නිරන්තරයෙන් වර්ධනය කිරීමට බල කෙරෙන පළමු සමාජ ක්‍රමය වන අතර එය ප්‍රායෝගිකව බාධාවකින් තොරව ආර්ථික වර්ධනයක් මගින් සංලක්ෂිත වේ.

පැහැදිලිවම 19 වැනි සියවසේ නැඟීආ ධනවාදය 20 වැනි සියවසේ පරිහානියට පත් වූ ධනවාදය හා සසඳන විට නිෂ්පාදන බලවේගවල උසස් – ප්‍රශස්ත – සංවර්ධනයක් ගෙන ආවේ නැත. පුද්ගලික අයිතිය මත පදනම් වූ පද්ධතිය සහ ලාභය උපරිම කර ගැනීමේ බලකිරීමත් අතිවිශාල ද්‍රව්‍යමය හා මානව සම්පත් නාස්තියක් සමඟ අත්වැල් බැඳගනී. වැටුප් ශ්‍රමය; ධනේශ්වර සමාජයේ පන්ති ව්‍යුහය, අධි නිෂ්පාදනය නිසා ඇති වන ආර්ථික අර්බුද, තරඟකාරීත්වයේ ප්‍රතිඵලයක් ලෙස ඇතිවන අතුරු ප්‍රතිඵල (බංකොලොත්කම, ධාරිතාවයන් අකාර්යක්ෂම ලෙස භාවිතා කිරීම) එනම්, යුද්ධ ගැටුම්; අවශ්‍යතා සහ පරිභෝජනයේ සමාජ සීමාවන්; ජනතාවන් සහ සමස්ත මහාද්වීපයන්හි ඌන සංවර්ධනය: යනාදී මේ සියල්ලෙන් පෙන්නුම් කරන්නේ මෙම ආර්ථික වර්ධනය වනාහි තාර්කිකව සැලසුම් කළ ආර්ථික සන්දර්භයක් තුළ විද්‍යාව හා තාක්‍ෂණය  මගින් විෂයබද්ධව කළ හැකි දෙයින් බොහෝ දුරස් වී ඇති බවයි. අධිරාජ්‍යවාදී යුගයේ ආරම්භයේ සිට, සාක්ෂාත් කරගත් සහ විභව-ආර්ථික වර්ධනය අතර පරතරය තව තවත් පුළුල් වී ඇත. අපද්‍රව්‍යය වඩ වඩාත් දරුණු රකුසෙකු වෙමින් පවතී: ස්ථාවරවූ ආයුධ ආර්ථිකයක් පවතී; කෘෂිකාර්මික නිෂ්පාදන හිතාමතාම විනාශ කෙරේ. පතල් කැණීම් වැනි ඇතැම් කර්මාන්ත සහමුලින් විනාශ වෙමින් පවතී.

එසේ වුවද, ධනවාදය එහි ස්වභාවයෙන්ම, මෙම පසුබෑමේදී පවා, පූර්ව ධනේශ්වර සමාජවලට වඩා අසමසම වර්ධන විභවයක් රඳවා ගනී. ලාභ ඉපැයීමේ අවශ්‍යතාවය සහ ප්‍රාග්ධනය සඳහා අතිරික්ත වටිනාකමක් රැස්කර ගැනීමේ අවශ්‍යතාවය තුලින් ද්‍රව්‍යමය නිෂ්පාදනය සඳහා අත්‍යවශ්‍ය ඉල්ලීම් පැනවේ. නිෂ්පාදන ස්වභාවයේ කුමන විරූපණයන් ඇති කළ හැකි වුවද, ධනවාදයේ පරිහානිය තුළ පවතින මෙම විභවය එහි කැලඹිලි සහිත නැගීමේ කාලයට වඩා අඩු නොවේ. ඊට පටහැනිව, මාක්ස් අනාවැකි පළ කළේ ධනවාදය විසින් මුදා හරින ලද නිෂ්පාදන බලවේග – විශේෂයෙන් විද්‍යාව නිෂ්පාදනය සඳහා යොදාගැනීම- එය ධනවාදය විසින්ම විනාශ නොකලහොත් විනාශකාරී බලවේග බවට පත්වන බවයි. එම අනාවැකියේ සමස්ථ අර්ථය අප අද යුගයේ අත් දකිමු. එනම් ‘21 වැනි සියවසේ මහා භීතිය’ ලෙස පරිසර විද්‍යාඥයන් හඳුන්වන පරමාණු බෝම්බයේ වලාවෙන් වැසී ගිය යුගයයි.

ධනේශ්වර නිෂ්පාදන ක්‍රමයේ හදවත ලෙස (නිෂ්පාදන බලවේගවල ධනේශ්වර සංවර්ධනය ද ඇතුළුව) පවතින මෙම විනාශයේ විභවය අපට තේරුම් ගැනීමට අවශ්‍ය නම්, මාක්ස්වාදී විවේචනය මගින් හෙළිදරව් කරන ලද භාණ්ඩ නිෂ්පාදනයේ ලක්ෂණ දෙකක් ගැන අප දැනුවත් විය යුතුය.

එක් අතකින්, භාණ්ඩ නිෂ්පාදනයේදී පුද්ගලික ශ්‍රමය පුරෝකථනය කෙරේ, එසේ  පුරෝකථනය කරන්නේ ප්‍රජාවේ මානව සහ ද්‍රව්‍යමය සම්පත් එකිනෙකින් ස්වාධීනව සහ – තරඟකාරීත්වය විසින් මෙහෙයවනු ලබන – හැකිතාක් ලාභ ඉපැයීමට උත්සාහ කරන සංස්ථා අතර විසුරුවා ඇති බැවිනි. [9] කෙසේ වෙතත්, අනෙක් අතට, ලාභය යනු නිෂ්පාදන සම්බන්ධතාවල සමාජ ස්වභාවය විසින් මුලුමනින්ම තීරණය වන ආර්ථික තාර්කිකත්වයේ නිර්ණායකයකි. ලාභය විසින් මූල්‍යමය වශයෙන් මිලක් ඇති දේ පමණක් ගනන් ගන්නා අතර මිලක් නියම කල නොහැකි සියල්ල පසෙක තබයි. ලාභය යනු නිශ්චිත ඒකකයක සෘජු හා අර්ධ අරමුණු ප්‍රකාශනයකි, සංස්ථාවක නිෂ්පාදන පිරිවැය (මුදල් වශයෙන් ප්‍රකාශිත) සහ පිරිවැටුම අතර හැකි විශාලතම වෙනසක් සාක්ෂාත් කර ගැනීමේ අරමුණයි.

සමස්තයක් වශයෙන් සමාජයට සිදුවන බලපෑම් නොසලකා මෙම ඉලක්ක තීරණය වන බැවින් එය නිසැකවම සමස්ත ප්‍රජාවගේම ප්‍රයෝජනය (අවශ්‍යතාව) ඉලක්ක කරගත් පුළුල් දිගුකාලීන අරමුණු ප්‍රකාශ කිරීමක් නොවේ. සංස්ථාවේ සෘජු ලාභය වැඩි කරන දෙයින් සමස්ත සමාජයේ ආදායම අඩු කළ හැකිය. [10] ලාභය වැඩි කරන දෙය සමස්තයක් ලෙස සමාජයට ලබා ගත හැකි සම්පත් හීන කර මිනිසුන්ගේ සෞඛ්‍යය හා ජීවිත විනාශ කළ හැකිය; මනුෂ්‍ය ජීවිතය ලාභ වැඩිකර ගැනීමේ මාධ්‍යක් ලෙස නොසලකා මෙම සාධක දෙක සඳහා මූල්‍ය වටිනාකමක් දිය නොහැක. [11]

කෙටියෙන් කිවහොත්, ධනේශ්වර වෙළඳපල ආර්ථිකය, එනම් සාමාන්‍යකරණය වූ වෙළඳපල ආර්ථිකය තුල, එහි කොටස් කරුවන්ගේ ආර්ථික තාර්කිකත්වය සහ සමස්තයේ සමාජ-ආර්ථික අතාර්කිකත්වය අතර වැඩිවන ප්‍රතිවිරෝධතාවක් බිහි‍වේ. ධනේශ්වර ආර්ථික විද්‍යාඥයින්ගේ මතය වන්නේ, ප්‍රජාවේ උපරිම යහපැවැත්ම ස්වයංක්‍රීයව සිදුවන්නේ ව්‍යවසායකයන් සහ පරිභෝජකයන් විසින් හැකිතාක් උපරිම පුද්ගල ලාභය ලුහුබැඳීමෙන් බවයි (රාජ්‍ය බලධාරීන් විසින් නිවැරදි කිරීම් සඳහා අවම මැදිහත්වීම්වලින් සමන්විත). මාක්ස්වාදීන් ප්‍රකාශ කරන්නේ මේ කිසිවක් සත්‍ය නොවන බවයි. සංගත විසින් ලබා ගත හැකි ඉහළම ලාභ ඉපැයීම (විශේෂයෙන්  අසමානුපාතික ආර්ථික බලයක් සහිත – ඒකාධිකාරී ධනවාදී යුගයේදී-) පොදු සුබසාධන දෘෂ්ටි කෝණයෙන් බලනවිට බරපතල හා ආපසු හැරවිය නොහැකි පාඩු වලට තුඩු දිය හැකිය.

මෙම ලක්‍ෂණ දෙක නිසා වෙළෙඳපොළ ආර්ථිකයක් මගින් ආර්ථික වර්ධනයේ මානව ධන මූලාශ්‍ර අඩපණ කරයි. මිලියන සංඛ්‍යාත පුද්ගලයන්ගේ ප්‍රාථමික අවශ්‍යතා සපුරා නොතිබුණද වැඩි වැඩියෙන් ප්‍රයෝජනවත් නොවන භාණ්ඩ නිෂ්පාදනය කිරීම සඳහා සියලු වර්ගවල සම්පත් නාස්ති විය හැකිය. අවසාන වශයෙන්, එවැනි ප්‍රතිඵලයක් සමාගම්වලට කෙටි කාලීන ලාභයක් සහතික කරන නිෂ්පාදන ශිල්පීය ක්‍රමවලට අනුග්‍රහය දක්වන නමුත් දිගු කාලීනව දැවැන්ත සමාජ නාස්තියක් සිදු කරයි.

වෙළෙඳපොළ ආර්ථිකය පිළිබඳ මෙම සාම්ප්‍රදායික මාක්ස්වාදී විවේචනය සහ පරිසරයට තර්ජනයක් වන අන්තරායන් අතර පැහැදිලි සම්බන්ධයක් තිබේ. වෙළඳපල ආර්ථිකය – සහ සියල්ලටම වඩා ධනේශ්වර වෙළඳපල ආර්ථිකය – අඩු හෝ පිරිවැයක් නොමැති ස්වභාවික සම්පත් කොල්ලකෑමේ ප්‍රවණතා පෙන්නුම් කරයි, වෙනත් වචන වලින් කිවහොත් එහිදී පිරිවැය-ප්‍රතිලාභ ගණනය කිරීමේදී පරිසරය සැලකිය යුතු පිරිවැයක් ලෙස නොගැනේ.

යම් ‘පාරිසරික දැනුවත් භාවයක්’ මතුවීමටත් පෙර අපි මේ පිළිබඳව ඕනෑ තරම් උදාහරණ දුටිමු. ඉඩමිවල  මිල ඉතා අධික වන අවස්ථාවේදී – ශතවර්ෂ ගණනාවක මානව ශ්‍රමයේ ප්‍රතිඵලයන් ලෙස සශ්‍රීකවූ පහත් බිම් හෝ  විප්ලවයට පෙර චීනයේ වාරි උද්‍යාන වැනි – ධනේශ්වර කෘෂිකර්මාන්තය ඒවාට කිසියම් වටිනාකමක් දෙයි. එහෙත් ඉඩම් මිල අඩු හෝ නාමික වශයෙන් පවතින විට, ධනේශ්වර කෘෂිකර්මාන්ත විසින් දිගුකාලීනව,  සමහර විට යලි ආපසු හැරවිය නොහැකි (පාංශු ඛාදනය, වන විනාශය යනාදියෙන්) අති විශාල විනාශයක් සිදු කරයි. පුද්ගලික දේපලක් බවට පත් නොකළ ස්වභාවික සම්පත්වන ගංඟාවන් සඳහා වටිනාකමක් හෝ මිලක් නොදේ. එහි ප්‍රතිඵලයක් ලෙස ගංගා ජලය යෙදවුම් හෝ නිෂ්පාදන උපකාර ලෙස විශාල පරිමානයෙන් භාවිතා කෙරේ. කර්මාන්ත මල අපවහන පද්ධතීන් බවට ගංගාවන් පරිවර්තනය කරන්නේ මිල අධික පිරිපහදු යන්ත්‍ර ඉදිකිරීමට වඩා එය පෞද්ගලික ව්‍යාපාර සඳහා ලාභදායී බැවිනි. පිරිසිදු වාතය ස්වභාවික ‘භාණ්ඩයක්’ වන බැවින් ‘වටිනාකමක්’ ලෙස නොසැලකේ. ධනේශ්වර ක්‍රමය තුළ, හුවමාරු වටිනාකමක් නොමැති සහ එබැවින් මිලක් නියමකර නොමැති ඕනෑම දෙයක් ‘වැදගත්’ නොවේ! එබැවින් තවතවත් ගිනි උදුන් ඉදිකරනු ලැබේ, මෝටර් රථ නිෂ්පාදනය කරනු ලැබේ, රසායනික නිෂ්පාදන ක්‍රම භාවිතා කරනු ලබන්නේ එහි ප්‍රතිඵලයක් ලෙස වායු දූෂණය ගැන කිසිදු තැකීමක් නොකරමිනි.

සමාජ-ආර්ථික තර්කනයට පටහැනි ලාභය පිළිබඳ මෙම තර්කය ස්වභාවික සම්පත් භාවිතයට පමණක් සීමා නොවේ. ආරම්භයේ සිටම ධනේශ්වර ක්‍රමය යටතේ ගන්නා ආර්ථික තීරණ අසමතුලිතය. මෙම තීරණ වලදී ලාභය පුද්ගලයා සතුවන සහ පිරිවැය සමාජගත වේ. මෝටර් රථ කර්මාන්තයේ දියුණුව  වායු දූෂණයට එක් ප්‍රධාන හේතුවකි. පිරිසිදු වාතය පුද්ගලික මෝටර් කර්මාන්තයට වටිනාකමක් නැතිවා පමණක් නොවේ. නමුත් රාජ්‍ය බලධාරීන් විසින් කරන පාරවල් තැනීම සහ නඩත්තු කිරීමෙන් තොරව පුද්ගලික ‍මෝටර් රථ හිමිකාරිත්වය මෙතරම් ව්‍යාප්ත නොවනු ඇත. එය ප්‍රධාන භූමිකාවක් ඉටු කරයි.

වෙළඳපල ආර්ථික තර්කනයේදී  පැන නගින තවත් සාධකයක් වන්නේ දැඩි, සීමිත කාල රාමුවක් තුල ධනේශ්වර තීරණ ගැනීමයි. ලබා දී ඇති කාල රාමුව තුළ ලාභය උපරිම කරගැනීමට (ධනපති) ව්‍යාපාර උත්සාහ කරයි. මෙය ‘අපෙන් පසුව ගංවතුර’ වැනි තර්කයකි. ආයෝජනය කරන ලද ප්‍රාග්ධනය ක්ෂය වී ඇති විට, ඵලදායි නොවන ආකාරයෙන් වුවද (ධනපතීන්ගේ සුඛෝපභෝගී වියදම් ලෙස) පරිභෝජනයෙන් /අලවියෙන් පසු ලාභය සාක්ෂාත් කර ඇති විට, හෝ ඵලදායී ආකාරයෙන් (ප්‍රාග්ධන සමුච්චයෙන්) ප්‍රාග්ධනයේ ප්‍රතිනිෂ්පාදනය චක්‍රයව නිමවේ. එහෙත් ඉවතලූ රසායනික ද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කිරීම සහ පාරිසරික සමතුලිතතාවය යථා තත්ත්වයට පත් කිරීම වැනි අනිවාර්ය පාරිසරික අවශ්‍යතා ලාභයේ නීති විසින් සැලකිල්ලට නොගනී. එසේවුවද යම් තාක්‍ෂණික ක්‍රියාවලීන් මගින් සිදු කරන පරිසර දූෂණයේ ‘සමාජ පිරිවැය’ ප්‍රමානය, එම ක්‍රියාවලීන් විසින් නිපදවන පුද්ගලික ලාභය බෙහෙවින් ඉක්මවන බව අපට දැකගත හැක්කේ වසර විස්සකට පමණ පසුවය. නමුත් වෙළඳපල ආර්ථිකය තුළ, දශක ගණනාවක් තිස්සේ එවැනි පිරිවැයක් පටවන ධනේශ්වර ව්‍යාපාරවලට අතීතයට බලපාන සේ බදු පැනවීම කළ නොහැක්කකි.

අපි අවධාරණය කරන්නේ, සමාජීය දෘෂ්ටි කෝණයකින්, මෙම ‘අංක ගණිත දෝෂ’ සඳහා අවසාන හේතුව ධනවාදය නොව, වෙළඳ භාණ්ඩ ආර්ථිකය බවයි; ධනවාදය යනු වෙළඳ භාණ්ඩ ආර්ථිකයේ සාමාන්‍යකරණය වූ, විශ්වීය ස්වරූපයයි. මේ අර්ථයෙන් ගත් කල, ධනවාදය තුළ ‘පාර්ශ්වික ආර්ථික තාර්කිකත්වයේ’ වැරදි ක්‍රියාවන් වඩාත් පැහැදිලිය. එහෙත් ඓතිහාසික වශයෙන්, ධනවාදයට පෙර වෙළඳ භාණ්ඩ ආර්ථිකය පැවතුනි. ක්‍රමානුකූලව, එය සරල භාණ්ඩ නිෂ්පාදනය තුළ ව්‍යාප්ත විය, උදාහරණයක් ලෙස 13 සිට 16 වැනි සියවස දක්වා නෙදර්ලන්තයේ ආර්ථිකය තුළ එය ව්‍යාප්ත වූ අතර නිෂ්පාදන ධනවාදයට වඩා වැඩි වැදගත්කමක් එයට 17 වන සහ 18 වන සියවස්වල පැවතුනි. (නැගෙනහිර සමූහයේ රටවල ආර්ථිකයන්) ධනවාදයේ සිට සමාජවාදයට සංක්‍රමණය වීමේදී, නිලධාරිවාදී විකෘතියක් හෝ පරිහානියක් සිදු වූවත් නැතත්, එය අර්ධ වශයෙන් පැවතුනි.

නිදසුනක් වශයෙන්, සෝවියට් සංගමය තුළ ඒ සමාන පාරිසරික ගැටළු පැන නැගුනි. සෝවියට් සංගමය තුල භාණ්ඩ නිෂ්පාදනය අර්ධ වශයෙන් අඛණ්ඩව පවත්වාගෙන යාමේ ප්‍රතිඵලයක් ලෙස සහ සංස්ථාවල නිෂ්පාදනය වෙන්වෙන්ව ගණනය කිරීම වැනි ආයතනික ව්‍යුහයන් නිසා නිෂ්පාදනයේදී සිදුවන සමාජීය හා දිගුකාලීන පිරිවැය සැලකිල්ලට නොගැනුනි. වඩාත් ප්‍රසිද්ධ හා කණගාටුදායක උදාහරණය නම් යුරේසියානු මහාද්වීපයේ විශාලතම මිරිදිය ජලාශය වන බයිකල් විල දූෂණය වීම යි. රසායනික කම්හල් අපද්‍රව්‍ය මෙම ජල දූෂණයට හේතුව විය. ‘ලාභාංශය’ ගණනය කිරීමේදී (විවිධ ආයෝජන ව්‍යාපෘති අතර මනාපය තීරණය කිරීමේදී), මිරිදිය සම්පත් විනාශ වීම දිගුකාලීන පිරිවැය තීරණය කරන සාධක අතරට ඇතුළත් නොවීය. [12]

සමාජවාදී සැලසුම්කරණය වෙළඳපොල ආර්ථිකයට වඩා උසස් වන්නේ මන්දැයි අපට දැන් වඩාත් නිවැරදිව පැහැදිලි කළ හැකිය. සමාජවාදී සැලසුම් මගින් සමාජ මට්ටමින් සහ දිගු කාලීනව සමස්ත ප්‍රජාව සඳහා පිරිවැය සහ ප්‍රතිලාභ ගණනය කිරීමට උත්සාහ කළ හැකිය. නමුත් මෙය කළ හැක්කේ මෙම සැලසුම් කරනය ප්‍රජාතන්ත්‍රවාදී වන්නේනම් පමණි: ප්‍රජාතන්ත්‍රවාදීව මධ්‍යගත ස්වයං-කළමනාකරණය සහ දේශපාලන ප්‍රජාතන්ත්‍රවාදය මත පදනම්වූවිට, විවිධ පාර්ශව සඳහා සම්පූර්ණ විවේචන නිදහස පවතී. නිෂ්පාදන ඒකක ස්ථාපිත කිරීමේදී, පුද්ගල ලාභදායිතා නිර්ණායක සඳහා අනිවාර්යයෙන්ම බලකරන පුද්ගල අයිතිය සහ තරඟය  අහෝසි කළ යුතුය.

නිෂ්පාදන බලවේගවල පාලනය නොකල හෝ අසීමාන්තික ‘වර්ධනයට සීමාවන්’ පිළිබඳ Meadows වාර්තාවෙහි එහි අන්තරායන් සාකච්ඡාකිරීමේදී තේමාවන් තුනක් කෙරෙහි අවධානය යොමු කරයි එනම්: පරිසර දූෂණය; ස්වභාවික සම්පත් ක්ෂය වීම, (විශේෂයෙන් අමු ද්‍රව්‍ය); සහ ජනගහන වර්ධනයෙන් මතුවන අන්තරායන් වේ. [13] අවාසනාවකට, මෙහි සියලු දත්ත වර්තමාන ප්‍රවණතාවල විස්තීරණ සහ ප්‍රක්ෂේපණ මත පදනම් වී ඇති නිසා, වෙනත් වචන වලින් කිවහොත්, සමාජ-ආර්ථික ව්‍යුහයන් (සහ විශේෂයෙන් ධනේශ්වර වෙළඳපල ආර්ථිකය) වෙනස් කළ නොහැකි යැයි උපකල්පනය කිරීමෙන් සාකච්ඡාවේ පැහැදිලිකමට බාධා වී ඇත. මෙම අධ්‍යයනයන් පදනම් වී ඇත්තේ අද තාක්‍ෂණය යනු ‘මානව බුද්ධියේ තාර්කික ව්‍යූහයෙහි’ සැබවින්ම විද්‍යාවන්හි වර්ධනයේ අවශ්‍යය සහ නොවැළැක්විය හැකි ප්‍රතිවිපාකය බවට  කෙරෙන ව්‍යාකූල පදනම මතය. එය ජර්මානු දාර්ශනිකයන්ගේ පරිවර්තනය කළ නොහැකි සහ ප්‍රභාෂාවෙන් (තේරුම්ගත නොහැකි බසෙන්) කෙරෙන‘තාක්‍ෂණික බලකිරීමේ’ ව්‍යාකූලත්වයයි. technologischer Sachzwang 

නිශ්චිත උදාහරණ කිහිපයක ආධාරයෙන් මෙවන් තර්කවල ව්‍යාකූල බව පෙන්වාදීම ගැන ජීව විද්‍යාව පිළිබඳ ඇමරිකානු මහාචාර්ය බැරී කොමනර්ට (Barry Commoner) (ඔහු මාක්ස්වාදියෙකු නොවේ) අපි ස්තූතිවන්ත වෙමු.

පළමුවෙන්ම, නවීන කාර්මික තාක්‍ෂණය අනිවාර්යයෙන්ම පාරිසරික සමතුලිතතාවය විනාශ කිරීමට යොමු වී ඇති බව සරල සත්‍ය නොවේ. නිවැරදි විද්‍යාවන්හි ප්‍රගතිය ඉතා පුළුල් පරාසයක තාක්ෂණික හැකියාවන් විවර කරයි. නමුත් මෙම සමහර හැකියාවන් තෝරා ගෙන ඇත්තේ පාරිසරික සමතුලිතතාවයට ඇති බලපෑම සැලකිල්ලට නොගෙනය; මෙයට හේතුව නම් ලාභය ගණනය කිරීම පුද්ගල නවෝත්පාදන සමාගම් විසින් සිදු කරන බැවිනි. සමහර අවස්ථාවලදී, එවැනි ගණනය කිරීම් හුදෙක් අහම්බෙන් සිදු වූවක් මිස යම් වැළැක්විය නොහැකි අවශ්‍යතාවයකින් සිදු වූවක් නොවේ.

දෙවනුව, සමස්තයක් ලෙස ප්‍රධාන තාක්ෂණික නවෝත්පාදන අනිවාර්යයෙන්ම පරිසර දූෂණය සඳහා යොමුවන බව සත්‍ය නොවේ. ඇත්ත වශයෙන්ම, සමස්ත නවෝත්පාදන පෙලක්ම ප්‍රතිවිරුද්ධ චිත්‍රයක් පෙන්වයි (උදා: ඉලෙක්ට්‍රොනික විද්‍යාවේ ප්‍රගකිය, ස්වාභාවික වායු මගින් ගල් අඟුරු වායුව ප්‍රතිස්ථාපනය කිරීම යනාදිය). නවීන කර්මාන්තයේ ආරම්භයේ සිට තාක්ෂණික සංවර්ධනය හා සමාන වේගයකින් පරිසර දූෂණය වැඩි වූ බව ද අසත්‍යයකි.

යථාර්ථය නම්, ‘පරිසර දූෂණ වර්ධන වේගය’ තරමක් මෑතකාලීන ය. පරිසර දූෂණය පිළිබඳ දර්ශක විනාශකාරී ලෙස පිරිහීමට පටන් ගත්තේ 1946 න් පසුව පමණි. [14] මෙයට හේතුව නිශ්චිතව විශ්ලේෂණය කරන ඕනෑම කෙනෙකුට මේවා ‘තාක්‍ෂණ’ ලෙස තර්ක කළ නොහැකි නමුත්, හොඳින් අර්ථ දක්වා ඇති තාක්ෂණික තීරණ කෙරෙහි අවධානය යොමු කළ යුතුවිය. මානව වර්ගයාගේ අනාගතය පිළිබඳ දෘෂ්ටි කෝණයෙන් බලන කල ඇතැම් තීරණ වගකීම් විරහිත හා විනාශකාරී බව ඔප්පු වේ.

බැරී කොමනර් විසින් උපුටා දක්වන ලද උදාහරණ අනුවම තෝරා ගත් විකල්පයන් කිසිසේත්ම නොවැළැක්විය නොහැකි බව අපට සඳහන් කලහැක. ඒවා තීරණය කරනු ලැබුවේ යම් යම් පෞද්ගලික අවශ්‍යතා සහ එමගින් එම අවශ්‍යතා ආරක්ෂා කළ අයගේ සමාජ හා දේශපාලන බලය අනුවය. මූලික උදාහරණ තුනක් නම්: ඊයම් විමෝචනය ඉහල යාම (1946 සහ 1970 අතර සියයට 415 කින්), ඇමරිකා එක්සත් ජනපදයට ඉහළින් වායුගෝලයේ නයිට්‍රොසොක්සයිඩ් ඉහල යාම (1946 සහ 1970 අතර සියයට 630 කින්) සහ රසායනික කම්හල්වලින් රසදිය සියයට 2100 ප්‍රතිශතයකින් වැඩි වීම. [15] එවැනි ‘දූෂණ වර්ධන අනුපාත’ ධනේශ්වර සමාගම් විසින් පුද්ගලික ලාභ ඉලක්ක කරගෙන කරන ලද තේරීම්වල ප්‍රතිඵලයකි: වැඩි සිලින්ඩර සම්පීඩනය සහිත මෝටර් රථ හඳුන්වාදීම, වැඩි ඔක්ටේන් පෙට්‍රල් භාවිතය සහ සබන් වෙනුවට කෘතිම ඩිටර්ජන්ට් ප්‍රතිස්ථාපනය කිරීම, එහි ප්‍රතිඵලයක් ලෙස, ඊරි විලට දිනකට පොස්පේට් අඩංගු අපද්‍රව්‍ය ලීටර් 174,000 ක් මුදා හරින අතර එමඟින් එම විලෙහි ජීවය ශීඝ්‍රයෙන් පහත වැටේ. ඒ වැව අවට මිලියන 12 ක ජනතාවක් ජීවත් වෙති. මෙම අවස්ථා වලදී අපට ‘නොවැළැක්විය හැකි තාක්‍ෂණික අවශ්‍යතාවක්’ ගැන කතා කළ නොහැකි බව පැහැදිලිය. අපට ගත හැකි එකම නිගමනය නම් ජෙනරල් මෝටර්ස්, ෆෝර්ඩ් හෝ මොන්සැන්ටෝ කෙමිකල් සමාගමට ප්‍රයෝජනවත් වූ දේ සාමාන්‍යයෙන් මනුෂ්‍ය වර්ගයාට ප්‍රයෝජනවත් නොවන බවයි. [16]

පවතින තාක්‍ෂණයට පමණක් කළ හැකිය යන ව්‍යාකූල න්‍යාය අතහැර දැමූ පසු, මතුවන ප්‍රමුඛතාවය නම්, පර්යේෂණ හා නවෝත්පාදන ප්‍රවර්ධනය කිරීම සඳහා, සමාජ-ආර්ථික හා සමාජ-බුද්ධිමය තත්වයන් නිර්මාණය කළ යුතු බවයි. එය පාරිසරික සමතුලිතතාවය ඇති කරන්නාවූ සියලුම තාක්‍ෂණික පර්යේෂණ සහ නවෝත්පාදනයන් ප්‍රවර්ධනය කරනවා මිස එය තවදුරටත් විනාශ නොකිරීමද, මුලුමනින්ම පුද්ගලයාගේ ඒකාබද්ධ සංවර්ධනයට සහ ස්වභාවික සම්පත් සංරක්ෂණයට මිස ලාභය උපරිම කිරීම හෝ පුද්ගලික පිරිවැය කෙරෙහි ඇති බලපෑම නොසැලකීමද, අරමුණු කරගත් වෙනස් තාක්ෂණයක් සංවර්ධනය කිරීමට ප්‍රමුඛත්වය ලබාදීම සඳහාද විය යුතුය.

වෙනත් වචන වලින් කිවහොත්, එය දිගුකාලීන ආර්ථික, සමාජීය සහ ස්වභාවික පිරිවැය ද, සමස්ත ප්‍රජාව සැලකිල්ලට ගන්නාවූද, ආයෝජන නිර්ණායක බවට පත් විය යුතුය. මෙයින් අදහස් කරන්නේ ගෝලීය ආර්ථික සමාජවාදී සැලසුම් තිබිය යුතු බවයි. පාරිසරික විවාදය අවසාන නිගමනය වන්නේ මානව වර්ගයාට තවදුරටත් ආර්ථික වර්ධනයේ එන්ජිම වන පුද්ගලික ධන ලාභය – එනම් ධනවාදයට දැරිය නොහැකි බවයි. මෙම සාකච්ඡාව යොමුවන්නේ මානව වර්ගයාගේ දිගුකාලීන අවශ්‍යතා වෙනුවෙන් වගකීම් විරහිත වර්ධනයක් ප්‍රතික්ෂේප කිරීම මිස එනිසා ‘වර්ධනය’ ප්‍රතික්ෂේප කිරීම නොවේ.

එහෙත් ධනේශ්වර පංතිය සමාජවාදයට ස්වයංප්‍රවර්තකව යටත් වෙනවා මිස ධනේශ්වර දෘෂ්ටිවාදය පරාජය වූ බව ඉබේම පිළිගන්නේ නැත. පාරිසරික විවාදය පදනම් ව ලාභ ඉපැයීම පැහැදිලිවම ප්‍රතික්ෂේප කිරීම නිසා ධනේශ්වර දෘෂ්ටිවාදයට දැඩි ලෙස පහර වැදී ඇති බවට කෙනෙකුට හැඟීමක් තිබිය හැකිය. [17] නමුත් එසේ වී නැත, එයට විවිධ පෙරමුණු දෙකකින් ප්‍රතිප්‍රහාර එල්ල කරයි.

එක් අතකින්, ලිබරල් ආර්ථික විද්‍යාඥයින් පවසන්නේ: සියලු නපුර බිහිවන්නේ ‘මිල නොකල ස්වභාවික මූලද්‍රව්‍ය [සම්පත්]’ පැවැතීම බව පෙනෙන නිසා, ඒ සියල්ලටම මිලක් දීමෙන් පරිසර දූෂණය නතර වනු ඇති බවයි. ඒ අපූරු දර්ශනයකි: එවිට ධනපතියන් විසින් වායුගෝලය දූෂණය කිරීම වැළැක්වීම සඳහා ඉක්මනින්ම අපට ආශ්වාස කරන වාතය සඳහා ගෙවීමට සිදුවනු ඇත. [18] තවද, නව ලිබරල්වාදී නියෝජිතයන් පවසන්නේ කර්මාන්තවලට බදු (හෝ දඩ) ගැසීමෙන් ‘පවිත්‍ර කිරීමේ යන්ත්‍රෝපකරන’ ඉදිකිරීමට ඔවුන් යොමුකල හැකි බවය.

මේවා හාස්‍යජනක යෝජනාය; සමස්තයේ ආර්ථික තර්කනය පාර්ශවීය මට්ටමේ තර්ක වෙනස්කම් කීරීමෙන් නිවැරදි නොවේ. මෙම අර්ධ තර්කනය සම්පූර්ණයෙන්ම අත්හැරිය යුතුය. මූදල් දඬුවම් (දඩ) යනු ශුද්ධ ලාභය ගණනය කිරීමේදී ඇතුළත් කරඇති අයිතමයකට වඩා වැඩි නොවේ. දඩ යනු සාපේක්ෂ බාධාවන් මිස තහනම් කිරීම් නොවේ. දූෂණය ලාභදායී වන තාක් කල්, මිල පාලන, බදු සහ දඩ මුදල් නොතකා එය දිගටම පවතිනු ඇත. බලපෑමක් රඳවා තබා ගැනීම සඳහා, එවැනි දඬුවම් නිරන්තරයෙන් වැඩි කළ යුතු අතර, මහජනතාවට සහ පරිසර දූෂණයට වරදක් නොකළ අයට එහි සැබෑ වැරදිකරුවන්ට වඩා දැඩි ලෙස හෝ ඊටත් වඩා දැඩි දඬුවම් ලැබෙනු ඇත. තවද මෙම අයබදු යනාදිය යම් සීමාවක් ඉක්මවා ගියහොත්, නිෂ්පාදනය සහ ආයෝජනය නතරකිරීමේ සම්භාවිතාව එ්වා වෙනත් දිශාවකට යොමු වීමට වඩා වැඩි ය. 

සියල්ලට පසු, ධනේශ්වර මූලධර්මය අනුව පුද්ගලික දේපල හා ලාභය විනාශයෙන් බේරා ගැනීම සඳහා සියල්ල වුව කැප කිරීමට ඉඩ දෙනු ඇත. ජීවන මට්ටම යන “පූජනීය ගවයා” දැනටමත් මේසය මත සිටින බැවින් භෞතික දේපල හා ලාභය ඉතිරි කර ගැනීම සඳහා මනුෂ්‍ය සංහතියේ පැවැත්ම වුවද කැප කරනු ඇත. (මීඩෝස් වාර්තාවේ කතුවරුන් 20 වන සියවස අවසන් වීමට පෙර ඇමරිකානු ජනතාවගේ වර්තමාන ජීවන මට්ටම සියයට 50 කින් පහත වැටිය යුතු බව සතුටු සිතින් යෝජනා කරති!) 

‘පරිසර දූෂණය වලකන උපකරන’ නිෂ්පාදනය කරන කර්මාන්තය මෙම මහා පාරිසරික බිය තුළින් පවා නව ලාභ ඉපයීමේ අවස්ථා දකියි. [19] මාක්ස්වාදී දෘෂ්ටිකෝණයකින් සමස්ත පාරිසරික ගැටලුව වෙත ප්‍රථම වරට ප්‍රවේශ වූ හැරී රොත්මන් (Harry Rothman) සිය විශිෂ්ට කෘතියේ, ‘දූෂණයේ පිරිවැය’ ‘මැනීමට’ මිනිස් ජීවිතයට ‘මිලක්’ නියම කළ යුතු බව කෙරෙහි අවධානය යොමු කරයි: එනම් එය පුද්ගලයෙකු නිෂ්පාදනය කරන දේ මත පදනම්ව ගණනය කරනු ලබන මිලක්ද! [20] අප මෙහිදී සිටින්නේ අමනුෂ්‍යත්වයේ ක්ෂේත්‍රය තුළ ය.

අනෙක් අතට, පාරිසරික සාකච්ඡාව විනාශයේ අනාගත වක්තෘවරුන් දිගු කලක් පසුබිමට තල්ලු කර නැවත ප්‍රසිද්ධියේ තබයි. ‘සමාජවාදය සමෘද්ධිය පුරෝකථනය කරයි. නමුත්, පාරිසරික විවාදය පෙන්නුම් කරන්නේ ස්වභාවික සම්පත් වඩාත් හිඟ වෙමින් පවතින බවයි. හිඟය නොවැළැක්විය හැකි අතර එය තවත් වැඩි වනු ඇත. එබැවින් සමාජවාදය ළඟාවිය නොහැක්කකි !. මේ අනුව, සම්පත් බෙදා හැරීම පාලනය කරන නීතිරීතිවලට අනුව ආර්ථිකය මෙහෙයවිය යුතුය;  වෙළඳපල ආර්ථිකයේදී එවැනි බෙදාහැරීමේ අතිශය අකාර්යක්ෂම බව ඉතිහාසය පෙන්වා දී ඇත. Quoderat demonstrandum.

මෙම තර්කයට පදනම් වී ඇත්තේ ප්‍රධාන වැරදි මතයකි. එම මීඩෝස් වාර්තාව පෙන්වා දෙන්නේ ද්‍රව්‍යමය හා ස්වභාවික සම්පත්වල බිහිසුණු නාස්තිය තුල දිරාපත්වන ධනවාදයේ වත්මන් නාස්තිකාර ක්‍රියාකාරිත්වය සිරවී පවතින තාක්කල්, වර්තමාන එක්සත් ජනපද ‘මධ්‍යම පංතියේ’ ජීවන තත්ත්වය සමඟ බිලියන 6 ක ජනතාවක් නඩත්තු කිරීමට සීමිත ස්වභාවික සම්පත් සතු පෘථිවියට නොහැකි බවයි. එම අපද්‍රව්‍ය සඳහා උදාහරණ වනුයේ: යුධ ආයුධ ආර්ථිකය, යන්ත්‍රෝපකරණ සහ බුද්ධිමය සම්පත් උෳන භාවිතය, නිෂ්ඵල මංකොල්ලකෑම්වල අමුද්‍රව්‍ය නාස්ති කිරීම යනාදියයි

නමුත් ලෝකයේ සෑම පුරවැසියෙක්ම සාධාරණ ලෙස පෝෂණය කිරීමට, ඇඳුම් ඇඳීමට, නිවසට, අධ්‍යාපනයට හා පෝෂණයට, ප්‍රාථමික අවශ්‍යතාවලට වඩාත් ගැළපෙන ආකාරයට තම මනුෂ්‍ය පෞරුෂය වර්ධනය කර ගැනීමට පෘථිවියේ වර්තමාන ධනය ප්‍රමාණවත් නොවන බව කොතැනකවත් ඔප්පු වී නොමැත. ලාභය සඳහා කෙරෙන නිෂ්පාදනය අහෝසි කරන්නේ නම්, විශ්ව විද්‍යාල අධ්‍යාපනය සැමට ප්‍රවේශ විය හැකි නම්, පරිසර දූෂණයට එරෙහි සටනට (කුසගින්න, පිළිකා සහ වෙනත් ශිෂ්ටාචාරයේ රෝගවලට එරෙහිවීම ඇතුලත් ) ආර්ථික සම්පත් බෙදාහැරීමේ පරම ප්‍රමුඛතාවය නම්, මානව වර්ගයාට මෙම අභියෝගවලට මුහුණ දීමට සහ පැවැත්මේ සහ සංවර්ධනයේ අවශ්‍යතා සඳහා තාක්ෂණය අනුගත කිරීමට ප්‍රමාණවත් බුද්ධිමය හා ද්‍රව්‍යමය සම්පත් නොතිබෙන බව කොතැනකවත් ඔප්පු වී නොමැත.  

මෙම සන්දර්භය තුළ, වඩාත්ම ආදර්ශයක් ලෙස ගතහැකි උදාහරණය වන්නේ ආහාර සංචිතය වේ. එම මීඩෝස් වාර්තාව පැරණි මැල්තස් ප්‍රමේය රහස් කුටියෙන් එලියට ගෙන, අද වන විට මිනිසෙකුට ආහාර සැපයීම සඳහා අක්කරයක සාමාන්‍ය භූමි ප්‍රමාණයක් (හෙක්ටයාර 0.4) අවශ්‍ය බව ඉතා ඕනෑකමින් පැහැදිලි කරයි. මුළු පෘථිවියේම වගා කළ හැකි ඉඩම් අක්කර බිලියන 7.5 ක් පමණි. වඩාත්ම සාරවත් හා ප්‍රවේශ විය හැකි ඉඩම් දැනටමත් වගා කෙරේ. ‘ඉතිරි ඉඩම් සම්බන්ධයෙන් ගත් කල, එය ප්‍රවේශ වීමට, වගා කිරීමට, ජලය සැපයීමට සහ වැඩිදියුණු කිරීමට කොපමණ අවශ්‍ය වුවද එය බොහෝ දුරට මිල අධික වනු ඇත. [21] එබැවින් ජනගහනය බිලියන 4 සිට 5 දක්වා ඉක්මවා ගියහොත්, වැඩිවන මිනිසුන් සංඛ්‍යාවක් කුසගින්නෙන් පෙළී මිය යාමට යමෙකුට අවශ්‍ය නම් මිස, ‘වර්ධනයේ සීමාව ළඟා වී ඇත’.

අපි මෙම හේතු දැක්වීමේ දෝෂ නොසලකා හරිමු: එහිදී කෘෂිකාර්මික එක් වගා ඒකකයක ඵලදායිතාව නොවෙනස්ව පවතිනු ඇතැයි උපකල්පනය කෙරේ (එක්සත් ජනපදයේ කෘෂිකාර්මික නිෂ්පාදනය වැඩි වන විට වගා කරන ලද ඉඩම් ප්‍රමාණය නිරන්තරයෙන් අඩු වේ); ජල වගාවේ ඇති හැකියාව (‘භූමියකින් තොරව වගා කිරීම’) නොසලකා හරිනු ලැබේ; ලෝකයේ විවිධ කොටස්වල ඵලදායිතාව විශාල වශයෙන් වෙනස් වේ. අපි ප්‍රධාන මිථ්‍යාව විමසමු: බොහෝ දුරට එහි ඉතිරි ඉඩම්වලට ප්‍රවේශ වීමට, භාවිතයට සහ වාරිමාර්ග සඳහා වියදම අධික වනු ඇත. නමුත් වියදම අධික වන්නේ කුමන දෘෂ්ටි කෝණයෙන්ද, සහ කුමන නිර්නායක අනුවද? යුධ ආයුධ නිපදවීමට පමණක් වසරකට ඩොලර් බිලියන 120ක් නාස්ති කරන ලෝකයකට මෙය අධික වියදමක්ද? බිලියන සංඛ්‍යාත ජනතාවගේ භෞතික පැවැත්ම පරදුවට තබා ඇති විට ලාභ අලාභ- ‘වියදම අධිකද’, ‘ දැරිය හැකිද’– යනාදී ප්‍රමුඛතා සහ ශක්‍යතා නිර්ණායක අනුව කතා කිරීම භාවිතා කිරීම ජුගුප්සා සහගත නොවේ ද?[22]

‘ජනගහන පිපිරීම’ සම්බන්ධයෙන් ගත් කල, අතීත අත්දැකීම් සියල්ල පෙන්නුම් කරන්නේ එය ජීව විද්‍යාත්මකව නොවැළැක්විය හැකි සමාජ සංසිද්ධියක් නොවන බවයි. අර්ධ යටත් විජිත රටවල ජනගහනයෙන් බහුතරයකගේ සමාජ විමුක්තිය සහතික කිරීම, අනිවාර්ය නිදහස් අධ්‍යාපනය හඳුන්වා දීම, පසුගාමීබව, දුගීබව, නූගත්කම සහ මිථ්‍යා විශ්වාස වලින් ඔවුන්ව ඉවත් කිරීම ආරම්භ කරමු. එවිට සමස්ත කාර්මික රටවල අඩුවූ අයුරු ජනගහන වර්ධනය අඩුවනු ඇත.

අර්ධ යටත් විජිත රටවල ජනගහන පීඩනය වැඩිවීම ගැටලුවක් නොවන බව මින් අදහස් නොවේ. උපත් පාලන ක්‍රම ක්‍රමානුකූලව දැනුවත් කිරීම හරහා උපත් පාලනය කිරීම – සහ, ම්ලේච්ඡ වන්ධ්‍යාකරණ පිළිවෙත් ප්‍රතික්ෂේප කිරීමත් – එවැනි රටවල ජනගහනයේ වැඩිවීම යහපැවැත්ම සඳහා අත්‍යවශ්‍ය වන බවට සැකයක් නැත. නමුත් මෙය සමාජ, ආර්ථික සහ දේශපාලන ව්‍යුහයේ ගෝලීය වෙනස්කම් සමඟ සම්බන්ධ කළ යුතුය. පරිසරය පිළිබඳ සාකච්ඡාවෙන් උකහා ගත යුතු ඉතා වැදගත් පාඩමක් වන්නේ, විශේෂයෙන්ම දිගු කාලීන ගෝලීය පිරිවැය, විශේෂයෙන්ම ඊනියා ‘තුන්වන ලෝක රටවල’ ප්‍රධාන අර්ධ වෙනසක – භයානක අනතුර ගැන අප දැනුවත් විය යුතු බවයි. ‘පාරිසරික’ සහ ‘මානව’ වියදම්, පරෙස්සමින් ගණනය කර නැත. ‘හරිත විප්ලවයේ’ මෑතකාලීන අත්දැකීම් සහ ‘මීකොං ව්‍යාපෘතියේ’ අසාර්ථකත්වය මේ සම්බන්ධයෙන් පැහැදිලි අනතුරු ඇඟවීම් වේ. [23]

මෙම සාකච්ඡාවෙන් උකහා ගත හැකි ප්‍රධාන නිගමනය නම් මනුෂ්‍ය වර්ගයා ඉතා පැහැදිලි තේරීමකට මුහුණ දී සිටින බවයි: එක්කෝ ‘වර්ධනය නතරවීමක්’ කරා යාමට ඉඩ හැරීමට හෝ නිෂ්පාදන බලවේගවල අඩුවීමක් සිදුකිරීම (එයින් අනිවාර්යයෙන්ම දුගීභාවයේ දැවැන්ත වැඩිවීමක් සහ කුසගින්න නිසා ප්‍රතිඵලයක් ලෙස ඉක්මනින්ම මිලියන සිය ගණනක මරණය යිදුවේ), නැතහොත් පාලනය කළ සහ සැලසුම් කළ වර්ධනය සඳහා හැකි ඉක්මනින් මාරුවීම සිදුවිය යුතුය. එවැනි වර්ධනයක් පුද්ගලික ලාභයේ ඉල්ලීම් සමඟ කිසිදු සම්බන්ධයක් නැති, පැහැදිලිව නිර්වචනය කරන ලද ප්‍රමුඛතා පිණිසවූ සේවයක් විය යුතුය. ‘සමාජවාදය හෝ ම්ලේච්ඡත්වය’ පිළිබඳ පැරණි මාක්ස්වාදී උභතෝකෝටිකය යලිත් වරක් අතිශයින් අදාළ වන අතර, එය න්‍යෂ්ටික අවි ආයුධ තරඟය නැවැත්වීමේ ක්ෂණික අවශ්‍යතාවයට පමණක් සීමා නොවේ. සැලසුම්ගත ගෝලීය ආර්ථිකයක් නොමැති වුවහොත්, මානව ශිෂ්ටාචාරයේ පදනම් නුදුරු අනාගතයේ දී බිඳ වැටේ. [24]

‘ශුන්‍ය වර්ධනය’ සඳහා වූ තේරීම පැහැදිලිවම අමානුෂික තේරීමකි. මානව වර්ගයෙන් තුනෙන් දෙකක් තවමත් ජීවත් වන්නේ අවම යැපුම් මට්ටමට වඩා පහළිනි. වර්ධනය නතර වුවහොත්, එයින් අදහස් වන්නේ නොදියුණු රටවල් දරිද්‍රතාවයේ මඩ වගුරේ සිරවී , නිරන්තරයෙන් සාගතයේ අද්දරට හෙළනු ලබන බවයි. ධනය හා සමිපත් රැඩිකල්ලෙස හා ගෝලීය වශයෙන් යලි බෙදා හැරීමක් සමඟ ‘ශුන්‍ය වර්ධනය’ අත්වැල් බැඳ ගත යුතු යැයි පැවසීම හොඳ ය. එහෙත් කාර්මීකරණය වූ ධනේශ්වර රටවල් තුළ පවා එවැනි යලි බෙදා හැරීමක් කිසිදා සාර්ථක නොවූ විට, පුද්ගලික අයිතිය මත පදනම් වූ ධනේශ්වර ආර්ථිකයක රාමුව තුළ සහ වෙළඳපොල ආර්ථිකයේ නිරන්තර පීඩනය යටතේ එවැනි ජාත්‍යන්තර යලි බෙදා හැරීමක් සිදු විය හැකි යැයි සැබවින්ම විශ්වාස කරන්නේ කවුද? වැඩිවන ආර්ථික අපහසුතා පිළිබඳ අංශු මාත්‍රයකින් හෝ ආත්මාර්ථකාමී නොවී පරිශුද්ධව එවැනි වීර ක්‍රියාවක් සිදු කරන්නේ කුමන ද්‍රව්‍යමය අධිකාරියක්, කුමන ‘ලෝක ආණ්ඩුවක්ද?’ (‘සදාචාරය’ යනු වචන පමණි) නේටෝ සහ ඕඊසීඩී සාමාජිකයන් වැනි දිගුකාලීන මිත්‍ර රාජ්‍යයන් පවා තරඟකරුවන් ලෙස සිටිති.

නොදියුණු රටවල් දුක්ඛිත තත්ත්වයන් තුළ සිරගතව සිටින මෙම තත්ත්වයන් යටතේ වර්ධනය නතර වූ විට සහ නිරන්තරව වියට්නාමයේ වැනි යුද්ධද සමාජ හා මිලිටරි පිපිරීම් සහ ප්‍රතිවිප්ලවද, පටවනු ලැබූවිට,  අධිරාජ්‍යවාදීන්ගේ ම්ලේච්ඡත්වය නිසා ඇති වන එවැනි යුධ විනාශකාරීත්වයේ ප්‍රතිවිපාකයක්වූ පාරිසරික, සමතුලිතතාවය නිසා අපගේ පෘථිවිය විනාශය දෙසට වේගයෙන් දිව යයි. [25]

අපගේ එකම ගැලවීම වන්නේ දෙවන විකල්පය වන, පාලනය කළ සහ සැලසුම් කළ වර්ධනයයි. මිනිසුන්ගේ මූලික අවශ්‍යතා සහ ස්වභාවධර්මයට ඇති මූලික ගෞරවය නොසලකා හරින අක්‍රමිකතා, සහ පාලනයකින් තොර ධනේශ්වර වර්ධනය, මානව වර්ගයාගේ භෞතික පැවැත්මට කෙතරම් තර්ජනයක් ද යත්, ආර්ථික හා සමාජ ව්‍යුහයන්හි රැඩිකල් වෙනසක් සිදු කිරීම පරම අවශ්‍යතාවයක් බවට පත්ව ඇත. සමාජවාදී ලෝක විප්ලවය සඳහා වන අරගලය, පන්ති විරහිත සමාජය සඳහා වන අරගලය, තවදුරටත් තාර්කික, සාධාරණ, වඩා මානුෂීය සහ නිදහස් සමාජයක් සඳහා වන අරගලයක් පමණක් නොවේ. එය මානව වර්ගයාගේ භෞතික පැවැත්ම සඳහා අරගලයක් බවට පත්ව ඇත.

නිෂ්පාදන මාධ්‍යවල පුද්ගලික අයිතිය, භාණ්ඩ ආර්ථිකය සහ ජාතික රාජ්‍යය යන මෙම කාලයට නොගැලපීම් තුන අහෝසි කළ යුතුය. පාරිසරික සමතුලිතතාවය යථා තත්ත්වයට පත් කිරීම සඳහා වන අරගලය අවම වශයෙන් සාර්ථක වීමට රාමුවක් එමගින් නිර්මාණය කරනු ඇත. තාක්ෂණික ශුභවාදීන් විශ්වාස කරන්නේ, මෙම අවස්ථාවේ දී, සාර්ථකත්වය සහතික වනු ඇති බවයි. නමුත් අප ප්‍රවේශම් විය යුතු අතර, අවදානමට ලක්ව ඇති දේ පිළිබඳව සහ නිරන්තරයෙන් අවදියෙන් සිටීමේ අවශ්‍යතාවය පිළිබඳව දැනුවත් විය යුතුය. ලෝකවාසීන්ගෙන් බහුතරයක් සමග සම්මුතියකින් ත්‍රිත්ව ප්‍රමුඛතාවයක් ස්ථාපිත කළ හැක; (1) සියලුම මිනිසුන්ගේ මූලික අවශ්‍යතා සපුරාලිය යුතුය; (2) දුර්ලභ ස්වභාවික සම්පත් සංචිත ඉතිරි කරගැනීම සහ ප්‍රතිස්ථාපනය සඳහා නව සහ විවිධ ආකාරයේ තාක්ෂණයන් සෙවිය යුතුය; සහ (3) සියලු දෙනාගේ බුද්ධිමය හැකියාවන් වර්ධනය කළ යුතුය (අධ්‍යාපනය, පර්යේෂණ සහ අර්ථවත් විනෝදාස්වාදය හරහා). [26]

පුද්ගලික ලාභඉපයීමේ බලහත්කාරයෙන් මිදුන සහ පරාරෝපනය කරන ලද හා  පරාරෝපනයවූ ශ්‍රමය කැපකරමින් වැඩ කිරීමට සිදුවී ති‍බෙන්නාවූ මිලියන සිය ගණනක් මිනිසුන්හට  මනුෂ්‍ය වර්ගයා සතුවූ නිසඟ නිර්මාණාත්මක හැකියාවන් ඵලගැන්වීමට හැකියාව ලැබේ යැයි උපකල්පනය කලහොත් උතුරු අර්ධගෝලයේ වැසියන්ගේ ජීවන තත්ත්වය කිසිසේත් පහත වැටෙනු ඇතැයි සිතීමට හේතුවක් නැත. දකුණු අර්ධගෝලයේ ජීවන තත්වය අනිවාර්යෙන්ම ඉතා  වේගයෙන් ඉහළ යනු ඇත..

ජීවන තත්ත්වය ගැන කතා කරන විට, අප කතා කරන්නේ වර්තමානයට සාපේක්ෂව ඒවායේ ව්‍යුහය වෙනස් විය යුතු අවශ්‍යතා රැසක් පිළිබඳවයි. සමාජ සබඳතාවන්හි පොහොසත්කම වර්ධනය කිරීම ප්‍රයෝජනයක් නැති හෝ ඉතා අල්ප වශයෙන් උපයෝගීවන, හා අප ගේ කාලය මිනිත්තු කිහිපයක් හෝ තත්පර කිහිපයක් ඉතිරි කරදෙන භාණ්ඩ නොවැදගත්ය. වැඩි වැඩියෙන් වස්තු නිපදවීමට වඩා පරිපූර්ණ පුද්ගලයන් බිහිකරගැනීම වඩා වැදගත්ය. භාණ්ඩ නිෂ්පාදනය නිසා මිහිතලය මත පැතිරෙන සත්‍ය වසංගතයක් වැනි තදබදයෙන් හා අවහිර වූ නාගරීකරණ පටලැවිල්ල ලිහා ගතයුතුය  ඒ සමගම, අපි පෞරාණික නොවන නමුත් සමතුලිතකරගත් කෘෂිකර්මාන්තයකට නැවත ආපසු යන්නෙමු. සතුට සහ ‘ජීවිතයේ ගුණාත්මකභාවය’ ‘දළ දේශීය ආදායමේ වර්ධනයට’ වඩා වැදගත් වනු ඇත. මේ සම්බන්ධයෙන් අපට Mansholt සමඟ එකඟ විය හැකිය.

නමුත් සතුට සහ ජීවන තත්ත්වය විසින් මූලික අවශ්‍යතා සපුරා ඇතැයි උපකල්පනය කෙරේ. සුළුතර වරප්‍රසාද ලත් පාලකයින් (සහ ධනපතියන්ගේ පැත්තේ සිටින විද්වතුන් හෝ තාක්‍ෂණවේදීන්) සුළුතරයක් විසින් සිය ඉරණම තීරණය කිරීමට තවමත් නොහැකි විශාල බහුතරය, ඔවුන් මත පනවා ඇති අනිවාර්ය අල්පේච්ඡතාවාදය ප්‍රතික්ෂේප කිරීමට කල්පනා කරති. සැලසුම්ගත වර්ධනය යනු මිනිසුන් විසින් තාර්කිකව පාලනය කරන ලද වර්ධනයයි. ‘අන්ධ ආර්ථික නීතිවලට‘ හෝ ​​‘තාක්ෂණික බලකිරීමේ’ වහලුන් වීම වෙනුවට ‘සමූහගතවූ නිෂ්පාදකයින්’ විසින් නිෂ්පාදනය පාලනය කර එය ඔවුන්ගේ අවශ්‍යතා සඳහා භාවිතා නොකළහොත් එවැනි වර්ධනයක් අත්කර ගත නොහැක. මෙය පූර්ව සමාජවාදයයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *