IMF: මේ අකුරු තුනට විරුද්ධව වැඩකරන ජනතාව [දැන්] අරගල කළ යුත්තේ ඇයි?
IMF නැත්නම් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ වැඩකරන ජනතාවගේ සාතිශය බහුතරයකට නැවත වරක් මුහුණට මුහුණ හමුවී තිබේ. ඒ NPP ආණ්ඩුවේ පළමු අයවැය හරහා ය. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ඇතිකරගත් නව ණය ගිවිසුම සහ අන්ත දක්ෂිණාංශික නිලධාරී තන්ත්‍රයක් NPP ය විසින් නඩත්තු කිරීම ගැන අප සමාජය දැනුවත් කරන්නට උත්සහ කරේ ඇයි යන ප්‍රශ්නයට සාධාරණ පිළිතුරක් දැන් ඔබට ලැබී ඇති බව අප සහෝදරාත්මකව මතක් කරන්නට කැමැත්තෙමු.
NPP ආණ්ඩුව වැනි සුවිශාල ජන අනුමැතියක් සහ පාලනයේ සුජාතභාවයක් ලැබුණු පාලනයක් ගමන් කරමින් සිටින දක්ෂිණාංශික දිශානතිය සහ එයි පීඩිත ජනතාවට ඇතිවන පීඩනය ගැන අප ජනතාව දැනුවත් කරන්නට පටන් ගන්නේ NPP ය බලට ගැනීමට බොහෝ කලකට පෙර ය. අයවැය IMF අයවැයක්. මෙය අප අඛණ්ඩව ජනගත කරන්නට උත්සහ කළ අදහස. එය හිතලුවක් හෝ මිත්‍යාවක් නොවන බව ඔබ දැන් තේරුම් ගන්නවානම් එය අප ලබන ජයක් නොව සමාජයක් විදිහට පොදුවේ අප සැවොම ලබන දේශපාලනික ජයකි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි සහ දේශීය, විදේශ ණය හිමියන්ගේ අවශ්‍යතා ඉටු කිරීමට ජාතික අතිරික්තය කොල්ල කෑම ‘තාර්කික සහ ආචාරධාර්මික’ එකක් බවට පත් කරනවා හැරෙන්නට වෙනත් සාරවත් යමකට ඇත්තේ කුමක්දැයි මහජනතාව ප්‍රශ්න කරන කාලය වැඩි ඈතක නොවන බව NPP ය තුළ සිටින සැබෑ වාමාංශිකයන්ට අපි මතක් කරන්නට කැමැත්තෙමු.
NPP ආණ්ඩුව බලයට ගෙන ඒමට එයට ආචාරධාර්මික ආවරණය සැපයු තමන් “පශ්චාත් මාක්ස්වාදීන්” වශයෙන් හඳුන්වා ගත් න්‍යායාචාර්යවරුන්ට සහ සමාජ ක්‍රියාකාරීන්ගෙන් අපට ඇසීමට ඇත්තේ වාම ජනප්‍රියවාදයේ දේශපාලන සීමාව ගැන සැබවින්ම ඔබ හදාරා තිබුනේ ද? වාම ජනප්‍රියවාදය සහ IMF ආර්ථිකවාදයේ මුහුන්කමේ දේශපාලන අනතුර පිළිබදව Syriza උදාහරණයම ඔබට ප්‍රමාණවත් නොවුයේද යන්න යි? පශ්චාත් මාක්ස්වාදය සහ වාම ජනප්‍රියවාදයේ දේශපාලන සීමාකම් ලතින් ඇමරිකාවේ රෝස කෝඩය තුලත්, යුරෝපයේ මැතිවරණවාදී වාම ජනප්‍රියවාදය තුළත් සටහන්ව ඇත. ඒවා සියල්ල තුළ සමස්තයක් වශයෙන් ගැබ්ව ඇත්තේ වැඩකරන පන්තියට අන්ත පරාජයක් ලබාදුන්, ප්‍රාග්ධනයේ බලය සහ බුෂුවා රාජ්‍ය ආයතන සහ ඒවායේ නීති රීති වලට නව සුජාතභාවයක් ලබා දුන් දේශපාලන අත්දැකීම් වේ. NPP ය යෙදෙමින් සිටින්නේ 2022 මහජන අරගලයෙන් සපුරා ප්‍රතික්ෂේප වූ බුෂුවා රාජ්‍යය ආයතන, ඒවායේ පාලන නීති (මර්දන නීති, දේපළ අයිතිය සහ ආර්ථික නීති), ආර්ථික සහ දුෂිත, ජනතා විරෝධී නවලිබරල්වාදය සහ තම උදර පෝෂණය පමණක් නිෂ්ඨාව කරගත් නිලධාරී වළල්ලක් කිසිදු හිරිකිතයකින් තොරව සුජාතකරණය කරමින් ය. මැතිවරණය පෙර සිටම NPP ය යනු වාම විරෝධී දේශපාලන බලවේගයක් බව අප මේ සමාජයට ප්‍රකාශ කළේ මේනිසාය. එයට අලවා තිබු වාම ආවරණය, ලෙනිනියානු අර්ථයකින් නම්, පශ්චාත් මාක්ස්වාදීන්ගේ දේශපාලන අවස්ථාවාදයේ සැබෑ ජනප්‍රියවාදී ලංකික මොහොත බව සටහන් කළ යුතුය (opportunists’ moment of left populism).
අප අවතීර්ණ වී ඇත්තේ නවලිබරල්වාදයේ අලුත්ම ආචාරධාර්මික යුගයකට ය. එය හසුරුවන තන්ත්‍රයේ හිස ‘ගමේ ද’? යන්න දේශපාලන ආර්ථිකය තකන්නේ නැත. නවලිබරල්වාදය තකන්නේද නැත. ශ්‍රී ලංකාවේ අවස්ථාවාදී ධනපති පන්තිය සහ එහි බුද්ධිමතුන් ද තකන්නේ නැත. ‘ගමේ සහෝදරයා’ හසුරවන දේශීය සහ ගෝලීය යාන්ත්‍රනය කුමක්ද සහ පුද්ගලයන් කවුරුන්ද යන්න පරික්ෂා කර බලන මෙන් අපි වැඩකරන ජනතාවට සහෝදරත්වයෙන් යෝජනා කරමු.
NPP යේ ආර්ථික න්‍යායාචාර්යවරයෙක් වශයෙන් කටයුතු කරන මහාචාර්ය අනිල් ජයන්ත පෙබරවාරි 17 සහභාගී වූ එක් රුපවාහිනී වැඩසටහනකට දී තමන්ගේ දේශපාලන බලවේගයම ඇටවූ දේශපාලන උගුලකට හසු විය. ඒ IMF එක සහ ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන අනුගමනය කළ අවස්ථාවාදී දෙබිඩි පිළිවෙතේ උගුලයි. එහිදී නගන එක් ප්‍රශ්නයකට පිළිතුරු දීමට අසාර්ථක උත්සහයක නිරත වන මහාචාර්යවරයා ‘IMF එක නැත්නම් අදටත් බදු ඉවත් කරන්න පුළුවන්’ වැනි පිළිතුරක් ලබා දෙයි. එය කොතරම් දේශපාලනික වශයෙන් වංචනික ප්‍රකාශයක්ද යන්න වැඩකරන සහෝදර ජනතාවට තේරුම් ගැනීමට කාලය පැමිණ ඇත. IMF ගිවිසුමට නොයා විකල්ප වැඩපිළිවෙලක් අප ඉදිරිපත් කරද්දී මේ බුද්ධිමතුන් සමාජයට කිවේ IMF හැර වෙනත් කිසිදු විකල්පයක් නොමැති බවයි. ඇතැම් ‘මාක්ස්වාදීන්’ කිවේ IMF එක ගෝලීය පොදු ආයතනයක් නිසා ඉන් සහය පැතීම වරදක් නොමැති බවයි. අවසාන වශයෙන් ‘විකල්ප ණය තිරසාරකරණ වැඩසටහනක් අපි NPP ය විදිහට ඉදිරිපත් කරනවා’ යන බොරුවෙන් මහජනතාව සහ සිවිල් සමාජය මුලාකොට රනිල් වික්‍රමසිංහගේ මාවතේ ඉදිරියට ගමන් කරමින් සිටී.
මේ වංචනික දේශපාලන ක්‍රීඩාවේ නිශ්චිත අංක ගණිතමය පාඩම 2025 NPP අයවැය යි. එහි දේශපාලන වීජගණිතමය පාඩමේ මුල් පාඩම කම්කරු පන්තිය සහ පීඩිත ජනතාව තුළ ඇතිවෙමින් පවත්නා පොදු විරෝධයයි.
ලංකාවේ මිනිස්සු DSI කොම්පැනියට ගොස් බාටා (Bata) ඉල්ලයි. මින් ඉදිරියට JVP යෙන් හෝ NPP යෙන් වම හෝ සමාජවාදය ඉල්ලීමේ කිසිදු තේරුමක් නොමැති බව අපි කම්කරුවන්ට, ගොවීන්ට, පීඩිත ස්ත්‍රීන්ට, අවිධිමත් අංශයේ කම්කරු සහෝදර සහෝදරියන්ට, ශිෂ්‍යය ශිෂ්‍යාවන්ට සහ වාමාංශික බුද්ධිමතුන්ට සහ සිවිල් ක්‍රියාකාරීන්ට මතක්කරන්නට කැමැත්තෙමු.
‘සුභාසාධනවාදයෙන්’ සහ ‘ඩිජිටල්කරණයෙන්’ වැසූ අයවැය යෝජනා තුළ ගැබ් වී ඇති අනතුරු කිහිපයක් අප සාරාංශ කරමු.
- අයවැය මුලධාර්මිකව පදනම් වන්නේ නවලිබරල් ආර්ථික උපක්‍රම සහ සුවිශේෂී ලෙස 2023 දී IMF පැනවූ නීති මතයි. ෆිස්කල් නැත්නම් අයවැය ප්‍රතිපත්තිය හැසිරවීම IMF නීති මතත් සමස්ත ආර්ථිකය පරිවර්තනය කිරීම රනිල් වික්‍රමසිංහගේ ආර්ථික පරිවර්තන පනත හරහාත් සිදු කිරීමට යෝජිතය. මේ නවලිබරල්වාදයේ ඊලග ඉනිමේ සැබෑ ඇන්ජින් කට්ටලයයි.
- ආයෝජන පදනම පුළුල් කිරීම ඉලක්ක ගත කරන්නේ පුද්ගලික ආයෝජකයන්ට තමන්ගේ ලාභා උපරිම කරගත හැකි යටිතල පහසුකම් පද්ධතිය මෙරට තුල නිර්මාණය කිරීමට ය. එය ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි වල සිට චීන ව්‍යාප්තවාදය පිළිගනිමින් හම්බන්තොට ඉදිකිරීමට නියමිත් තෙල් පිරිපහදුවේ සිට ‘ඩිජිටල් ආර්ථිකයක්’ දක්වා දිවෙන ධනේශ්වර මායාවකි. රජය පහසුකම් සලසන්නේකුගේ භූමිකාවට පත් කිරීමේ නවලිබරල් ඉගැන්වීම කර තබන යන්නේ ‘ගමේ’ ගැමියෙක් ගේ පුත්‍රයෙක් වීම නිර්ධනයා ලැබූ ජයක් නොව අන්ත පරාජයකි.
- වැටුප් ප්‍රශ්නය තවත් සංකීර්ණ වී තීබේ. උද්ධමනය බින්දුවෙනුත් පහලට ගමන් කරද්දී ජනතාවට ජීවිතය මෙතරම් අමාරු ඇයි? යන සාධාරණ ප්‍රශ්නයට අයවැයෙන් පිළිතුරු ලැබී නැත. ධනපති පන්තියට සුළු සීරිමක්වත් වත් නොමැතිව වෙළදපල, කොටස් වෙළදපල, බැඳුම්කර වෙළදපල, අපනය සහ ආනයන වෙළදපල නැවත සකස් කරද්දී පොදු මහජනතාව මුහුණ දෙන VAT බද්ද අඩු කිරීමට, නැත්නම් අත්‍යවශ්‍ය භාණ්ඩ වලින් බදු ඉවත් කිරීමට ආණ්ඩුවට අමතක් වී ඇත. නැත්නම් නන්දලාල් වීරසිංහට, මහින්ද සිරිවර්ධනට හෝ දුමින්ද හුලංගමුව ට එය මතක් කර දීමට අමතක වී ඇත. IMF-NPP කතෘත්වය දරන ආර්ථික පීඩනය නැවත වටයකින් නිර්ධනපන්තික චන්දදායකයා හපාකන මොහොත එලබී තිබේ.
- ඩිජිටල්කරණය විසින් සැබෑ අතිරික්තයක් නිර්මාණය කරන්නේද? එසේත් නැත්නම් ජනතාව සතුව පවතින මුල්‍යමය අතිරික්තය රජයටත්, මහාපරිමාණ සමාගම් වලටත් වේගයෙන් උරාගත හැකි සංසරණ ව්‍යුහයක් නිර්මාණය කරනු ඇත්ද? නවලිබරල්වාදීන් නිරන්තරයෙන් වදවන ‘රාජ්‍ය සේවය ලොකු වැඩි වීම’ සේවක සේවිකාවන් ඉවත් කිරීමේ මුලික අඩිතාලම මින් වැටෙනු ඇත්ද? සෝදිසි රාජ්‍යය පොදු මහජන ජීවිතය සහ එහි අරගලකාරී සංවිධාන ව්‍යුහයන් මර්දනය කිරීමට මෙය කෙසේ යොදා ගනු ඇත්ද යන ප්‍රශ්න අපි ඔබ ඉදිරියේ තබමු.
- අපි අලුත්ම ණය චක්‍රයකට ඇතුල් වී සිටිමු. ජනාධිපති අනුර ‘අපි ලෝක බැංකුවෙන් ගත ලොකුම ණය මුදල ගන්නවා’ යැයි ප්‍රකාශ කළ විට ඔබ කම්පා විය යුතුය. ඒ මක් නිසාද? ඒ අපි මේ තාක් අනුගමනය කළ විනාශකාරී ආර්ථික ක්‍රියාවලිය, ඔබව පරාජය කළ ආර්ථික ක්‍රියාවලිය තුලට ඔබව දක්කාගෙන යාමට මේ ධනපති පාලකයාටද කිසිදු දේශපාලන හිරිකිතයක් හෝ ජනතාවාදී අනාගතවාදී දැක්මක් නොමැති නිසාය.

කල්ප රාජපක්ෂ