ජිවත්වීමේ අයිතිය පතන පලස්තීන ජනතාව කබලෙන් ලිපට!
පලස්තීනයේ ඉතිහාසය තුන් වැනි වරටත් නැවත සිදු වන්නේ ඛේදවාචකයක් නොව නග්න ජනඝාතනයකි. පළමුවෙන්ම පලස්තීනයේ අරාබි ජනතාව ඝාතනය කිරීමෙන් සහ ගම්බිම් විනාශ කිරීමෙන් පළවා හැරීමේ නක්බාව (මහා නස්පැත්තිය) ආරම්භ වූයේ 1948 අප්‍රේල් 9 වැනිදා ඩෙයර් යසින් ගමෙනි. ඇත්තෙන්ම ඩෙයර් යසින් ගම විනාශ කිරීමට සයන්වාදී ත්‍රස්තවාදී කණ්ඩායම්වලට අවස්ථාව ලැබුණේ ඊට පෙර දින එනම් අප්‍රේල් අට වැනිදා ජෙරුසලමට දොරකඩක් වූ ක්වස්ටාල් ගමේ දී ඉර්ගුන් කණ්ඩායමට පලස්තීන සටන්කරුවන් පරාජය කිරීමට හැකිවීම නිසාය. මෙම පරාජයට මූලික හේතුව ජොර්දානය පලස්තීන සටන්කරුවන්ට සහාය ලබා නොදී නිහඬව සිටීම බව බොහෝ නිරීක්ෂකයෝ හඳුන්වති. පලස්තීන විරෝධතාවය බිඳ වැටී තිබුණ තත්වය යටතේ ඉර්ගුන් ත්‍රස්තවාදී කණ්ඩායමට අභියෝගයක් නොමැතිවම ඩෙයර් යසීන් ගමත් එහි ජනතාවත් සම්පූර්‍ණයෙන් විනාශ කිරීමට හැකි විය.
දෙවන ජන ඝාතනය සිදු වූයේ 1982 සැප්තැම්බර් මස බීරුට් නගරය අසළ පලස්තීන සරණාගත කඳවුරු දෙකක් වන සබ්‍රා සහ ෂටිලා හිදීය. ඊශ්‍රෘයෙල් හමුදාවේ රැකවරණය යටතේ මෙම කඳවුරු දෙකට ඇතුළු වූ පලාන්ගිස්ට් කණ්ඩායම් කිසිම ආරක්ෂාවක් නොතිබු පලස්තීනුවන් ඝාතනය කළහ. ඊට අවස්ථාව උදා වූයේ මෙම සරණාගත කඳවුරු තුළ ආරක්ෂාවට සිටි යසර් අරපත් ගේ නායකත්වයෙන් යුත් පලස්තීන විමුක්ති සංවිධානය නිරායුධ කොට ලෙබනනයෙන් පිටුවහල් කිරීමෙනි. යසර් අරපත්ට සහ ඔහුගේ සටන්කරුවන්ට බීරුට් නගරයෙන් පිටව යෑමට සිදු වූයේ සෞදි අරාබියේ බලපෑම නිසාය. සෞදි අරාබියට ( සහ ඇමරිකාවට) පක්ෂපාතී රජයක් ලෙබනනයේ පිහිටුවීමට බීරුට් නගරයෙන් පලස්තීන විමුක්ති සංවිධානය පිටුවහල් කිරීමේ අවශ්‍යතාවයක් තිබිණ. සටන්කරුවන් පිටව ගිය පසු සරණාගත පලස්තීනුවන් විනාශ කිරීමේ ‘වගකීම’ පැවරුණේ පලාන්ගිස්ට් කණ්ඩායමට ය. සරණාගතයින් ගේ ආරක්ෂාවට කිසිවෙකු ඉදිරිපත් වූයේ නැත.
මෙම සහාසික ප්‍රහාරය ජන ඝාතනයක් සේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය 1982 දෙසැම්බර් මස තීරණය කළාය.
තුන්වැනි ජනඝාතනය ඇමරිකාවේ සහ බටහිර රටවල ආධාර අනුබලය ඇතිව ඒ සියල්ලට වඩා නග්න ආකාරයෙන් ඊශායෙලය ගාසා හි සිදු කරයි. 2023 ඔක්තෝබර් මස ආරම්භ කළ මෙම ජන ඝාතනය වසර දෙකක් ගතවීමට ආසන්න වුවද තවම නිමාවක් නැත. මෙම කාලය තුළ සටන් විරාම තුනක් ප්‍රකාශයට පත් වුවද ඒ කිසිවක් ස්ථිරසාර සාමයකට යොමු වූයේ නැත. සැබැවින්ම සිදු වූයේ ගුවනින් හෙළන රාත්තල් 2000 බෝම්බවලට විරාමයක් ලැබීම පමණි. බෝමබවලින් මරණයට පත් නොවන ජනතාව සාගින්නේ තබා මරණයට පත් කිරීමත් ඊශ්‍රායෙල් යුද උපාය මාර්ගයේම කොටසකි. අලුත්ම වාර්තා අනුව ගාසා තීරයෙන් සියයට 70කට වඩා වැඩි බිම් ප්‍රමාණයකින් පලස්තීන ජනතාව සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇත. දැන් ඊශායෙල හමුදාවේ ඉලක්ක වී ඇත්තේ උතුරු ගාසාවෙන් දකුණට පලා ආ ජනතාව වෙසෙන කූඩාරම් ජනාවාසවලට ආහාර ජලය සහ වෙනත් අවශ්‍යතා සැපයීම වළක්වා ගුවනින් සහ බිමෙන් පහර දීම ය.
එහෙත් තවමත් පලස්තීන විරෝධය සම්පූර්ණයෙන්ම යටපත් කිරීමට හැකිව නැත.
නොකඩවා සිදුවන මෙම ජන ඝාතනය වැලැක්විමට ඇමරිකාවේ අනුබලය ඇතිව අරාබි රටවල් යෝජනා කරන ක්‍රියා මාර්ගය ඉහතින් දැක් වූ අවස්ථා දෙකට බෙහෙවින් සමානය. ගාසා තීරයේ පාලන බලය මෙහෙයවන හමාස් සංවිධානය ඊශ්‍රායෙලය සහ ඇමරිකාව ඇතුළු බටහිර රටවල් ත්‍රස්තවාදි කණ්ඩායමක් ලෙස නම් කර ඇති නිසා ගාසා තීරය සම්බන්ධයෙන් දේශපාලන තිරණයක් ගැනීමේ දී හමාස් සංවිධානය හවුල් කර ගැනීමට එම රටවල් එකඟවන්නේ නැත. ගාසා තීරයේ කෙරෙන යුද මෙහෙයුම් හමාස් ත්‍රස්තවාදින්ට එරෙහි හමුදා ක්‍රියාමාර්ගයක් නිසා හමාස් සංවිධානය විනාශ කරන තෙක් සටන් නවත්වන්නේ නැති බව ඊශ්‍රායෙල් අගමැති නෙතන්යාහු නිතර අවධාරණය කරයි.
2023 ඔක්තෝබර් 7 වැනි දා හමාස් සංවිධානය සහ ගාසා තීරයේ ක්‍රියාත්මක වන තවත් සටන් කණ්ඩායම් එල්ල කළ හදිසි ප්‍රහාරය ත්‍රස්තවාදි ක්‍රියාවක් නිසා ඊට ප්‍රතිචාර දැක්වීමට තමන්ට අයිතියක් ඇතැයි යන්න ඊශ්‍රායෙලයේ ස්ථාවරයයි. ඇත්තෙන්ම ඔක්තෝබර් 7 ප්‍රහාරය ඊශ්‍රායෙලයේ හමුදා නායකත්වය නොදත් ප්‍රහාරයක් ද යන්න දැන් විවාදයට ලක්ව ඇති කරුණකි. මැදහත් නිරීක්ෂකයන් සහ ඊශ්‍රායෙලයේ විවිධ මූලාශ්‍ර සඳහන් කරන ආකාරයට ඔක්තෝබර් ප්‍රහාරය නොදැනුවත්ව සිදු වුවක් නොව ඊශ්‍රායෙලයේ බුද්ධි අංශ සහ දේශපාලන නායකත්වයේ අනියම් සහාය ඇතිව සිදු වුවකි. හමාස් සංවිධානය එම සැලැස්මට ගොදුරු වූයේ එම අවස්ථාව තම වාසියට යොදා ගැනීමට හැකිවේය යන බොළඳ විශ්වාසයෙනි. එහෙත් සැබැවින්ම සිදු වූයේ දිගු කලක් තිස්සේ සැලසුම් කල ආකාරයට සම්පූර්ණ පලස්තීන ප්‍රදේශය සහ සිරියාව, ලෙබනනය සහ ජොර්දානය යන අසල්වැසි රටවල් ද අත්පත් කර ගෙන මහා ඊශ්‍රායෙල් මිත්‍යාව යථාර්ථයක් කර ගැනීමට සයන්වාදින්ට අවස්ථාව උදා කර දීමකි.
ගාසා තීරයේ හමාස් සටන්කරුවන්ට එරෙහිව ඇරඹි ජන ඝාතනය බටහිර ඉවුරටත් ලෙබනනයටත් ව්‍යාප්ත කර ඇත්තේ එම නිසාය. මහා ඊශ්‍රායෙලයක් බිහි කිරීම රහසිගත සැලැස්මක් නොව සයන්වාදය ආරම්භයේ සිටම ප්‍රසිද්ධියේ සාකච්ඡාවට ලක් වුවකි. එය අසල්වැසි අරාබි රටවල් ද දන්නා කරුණකි.
විස්මයට කරුණ වන්නේ අරාබි රටවල් දැනුවත්ව හෝ නොදැනුවත්ව එම සැලැස්මට අනුගත වීමය.
මහා ඊශ්‍රායෙලයක් පිහිටුවීමේ සැලැස්මක් ක්‍රියාත්මක කිරීමේ දී මූලික පියවරක් වන්නේ පලස්තීනුවන් සිය නිජභූමියෙන් පලවා හැරීමය. ඒ සඳහා යොදා ගත් ප්‍රබලම සහ එකම ක්‍රියා මාර්ගය වූයේ ප්‍රචණ්ඩත්වයයි. ඩෙයර් යසින් ගමේ සිට සබ්‍රා සහ ෂටිලා සරණාගත කඳවුරුවලට පහර දීම දක්වාත් දෛනිකවත් පලස්තීනුවන් ප්‍රචණ්ඩත්වයට ලක් කෙළේ ඒ සඳහාය. එය පහසු කටයුත්තක් නොවුයේ පලස්තීනුවන්ගේ විරෝධය විවිධාකාරයෙන් පැන නැගීම ය. ඊශ්‍රායෙල් සයන්වාදීන්ගේ ප්‍රචණ්ඩත්වයට පලස්තීන කණ්ඩායම් පිළිතුරු දුන්නේ ද ප්‍රචණ්ඩත්වයෙනි.
යටපත් කර ජනතාව සිය විමුක්තිය ලබා ගැනීමේ දී සන්නද්ධ අරගල යොදා ගැනීම ඉතිහාසය පුරා සිදු විය. එමනිසා ගාසා තීරයේත් බටහිර ඉවුරේත් පලස්තීන කණ්ඩායම් අවි ගැනීම අපූරු දෙයක් නොවේ.
එහෙත් අරාබි රටවල නායකයන් අතීතයේ දී මෙන් අදත් පලස්තීන ජනතාව අවි ගැනීම අනුමත කරන්නේ නැත. ගාසා තීරයේ සිදු කරන ජනඝාතනය නතර කිරිමේ කොන්දේසියක් ලෙස හමාස් සංවිධානය නිරායුධ කර ගාසා තීරයෙන් පිටුවහල් කිරීමට සයන්වාදින් බටහිර රටවල සහාය ඇතිව ඉදිරිපත් කරන යෝජනාවට අරාබි රටවල් සහාය දක්වන්නේ එමනිසාය.
දැනට සති කිපයකට පෙර ලෙබනනයේ සංචාරයක යෙදුන පලස්තීන අධිකාරියේ නායක මොහොමඩ් අබ්බාස් හමාස් සටන්කරුවන් නිරායුද කොට ප්‍රාණ ඇපකරුවන් නිදහස් කළ යුතුයැයි රූපවාහිනී සාකච්ඡාවකදී පැවසුවේය. ඔහු පෙන්වා දුන් ආකාරයට ගාසා තීරයට සාමය උදා කිරීමේ මුල් පියවර වන්නේ නිරායුද කළ හමාස් සටන්කරුවන් ගාසා තිරයෙන් පිටමං කිරීම ය.
පසුගිය පෙබරවාරි මස සෞදි අරාබිය ද මෙවැනිම සැලැස්මක් ඉදිරිපත් කළ බව මාධ්‍ය වාර්තාවල පළවිය. ඒ අනුව අවි බිම තබා ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමෙන් පසුව හමාස් සටන්කරුවන් ගාසා තීරයෙන් පිට විය යුතුය. විනාශ කළ ගාසා තීරය නැවත ගොඩ නැගිමට සෞදි අරාබිය ආධාර ලබා දෙන්නේ එවැනි කොන්දේසියක් යටතේ පමණි. ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ පළමු පාලන සමයේ, 2020 දී ඊශ්‍රායෙලය රාජ්‍ය තාන්ත්‍රිකව පිළිගැනීම සඳහා ඇති කර ගත් ඒබ්‍රහම් එකඟතාවයට අත්සන් කළ රටක් වූ එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයද සෞදි අරාබියේ යෝජනාවට සහාය පළ කර ඇත.
ජොර්දානය ද ගාසා තීරයේ සාමය ඇති කිරීම සඳහා හමාස් හමුදාව සහ දේශපාලන නායකත්වය ගාසා තීරයෙන් ඉවත් කළ යුතුයැයි අවධාරණය කරයි. අල් අසාඩ් පලවා හැර සිරියාවේ බලය අත්පත් කර ගත් හයාට් තහ්රිර් අල්ෂාම් නායක මොහ්මඩ් අල් ජොලානි ගාසා තිරයේ තත්වය ගැන කතා කිරීමට සූදානම් නැත.
මෙවැනි තත්වයක් යටතේ සටන් බිමේ පසුබෑම්වලට ලක්ව සිටිය ද අරගලය අත නොහැර සිටින හමාස් සංවිධානයට මුහුණ දීමට ඇත්තේ බරපතළ අර්බුදයකටය.
හමාස් ඇතුළු ගාසා තීරයේ අනෙකුත් සටන් කණ්ඩායම් ඔක්තෝබර් 7 ප්‍රහාරය දියත් කෙළේ ඒබ්‍රහම් එකඟතාවය යටතේ අමතක වෙමින් තිබුණ පලස්තීන අර්බූදය නැවත වරක් ලෝක ජනතා අවධානයට ගෙන ඒමටය. එම ගැටුම සති කීපයකින් අවසන් වනු ඇතැයි හමාස් නායක යෙහ්යා අල් සින්වාර් බලාපොරොත්තු වූයේය. එහෙත් ගාසා ජන ඝාතන යුද්ධයට වසර දෙකකට ආසන්න කාලයක් වෙමින් පවතී. ඇත්තෙන්ම ගාසා තීරයේත් බටහිර ඉවුරේත් පලස්තීන ජනතාව මුහුණ දෙන අතිශය ශෝක ජනක තත්වය යටතේ අනාගතයක් ගැන සිතීමට පවා නොහැකිය. එයට හේතු වන්නේ ඊශ්‍රායෙල් හමුදා ප්‍රහාරවලින් අසරණවීමටත් වඩා අසල්වැසි අරාබි රටවල නායකත්වය පලස්තීනයට දේශපාලන විසඳුමක් ලබා දීමට වඩා තම ඒකාධිපති බලය පවත්වා ගැනීමට එහි සටන් ශක්තිය දුර්වල කිරීමට උනන්දුවීමය.
පලස්තීන ගැටළුවට දේශපාලන විසඳුමක් නැතිව නැවත වරක් පලස්තින ජනතාව සමූලාඝාතනයකට ඉඩ සැලසෙන සටන්කරුවන් නිරායුද කොට එහි නායකත්වය පලස්තිනයෙන් පිටුවහල් කිරීමේ සැලසුම්වලට අරාබි රටවල් සහාය දක්වන්නේ එම නිසාය.