ප්‍රධාන පුවත්

දුමින්ද හුලංගමුව භාණ්ඩාගාරයට? කුකුල් කොටුව මුර කිරීම සඳහා නරියෙක්ට භාරදුන්නා වගේ!!

එක්සත් කම්කරු සම්මේලනයේ ප්‍රකාශණයකි! මාර් තු 25, 2025

ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති සහ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ උපදේශක දුමින්ද හුලංගමුව, ශ්‍රී ලංකා රජයේ මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධනගේ අනුප්‍රාප්තිකයා ලෙස පත් කරනු ලැබීමට නියමිත බව පැවසෙයි. හුලංගමුව මහතා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විගණන සමාගමක් වන, මෙයට පෙර ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව පෞද්ගලීකරණය කිරීම සඳහා එහි වටිනාකම අඩුවෙන් තක්සේරු කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ ‘අර්නස්ට් ඇන්ඩ් යන්ග්’ සමාගමෙහි මෙරට කළමනාකාර හවුල්කරු ද වේ. ශ්‍රී ලංකාවේ ආර්ථික තීරණ ගැනීම සහ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා අත්‍යාවශ්‍ය වන ප්‍රබල සිවිල් සේවයේ තනතුරක් වන මුදල් අමාත්‍යාංශයේ ලේකම් ධුරයට ඔහුව පත් කරනු ලැබුව හොත් එය භයානක පූර්වාදර්ශයක් වනු ඇත. එමගින් පුද්ගලික අංශය කෙරෙහි තිබෙන රාජ්‍ය අධීක්ෂණය ඉවත්වී යන අතර,  පෞද්ගලික අංශයට ශ්‍රී ලංකාවේ මහජනතාවට වඩා වැඩි අනිසි වාසියක් ලබා දීමට එය හේතුවන බැවින් එු තුළින් ළැදියා පිළිගැටුමක් ඇති කරනු ඇත.

එමෙන්ම, හුලංගමුව මහතාගේ පත්වීම මගින් ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශය වසර ගණනාවක් තිස්සේ සිදු කරමින් සිටින බරපතල මූල්‍ය අපරාධවලට ද වලංගුභාවයක් ලැබෙනු ඇත. බදු සම්බන්ධ වංචා එයට එක් උදාහරණයක් වේ. ගෙවීමට ඇති හිග ආදායම් බදු ප්‍රමාණය ක්‍රමයෙන් වැඩි වෙමින් පවතින බව විගණකාධිපතිවරයාගේ වාර්ෂික වාර්තාවලින් හෙළි දරව් කරනු ලැබ ඇති අතර, 2022 වර්ෂයේ දී රුපියල් බිලියන 904 ක් වූ හිග බදු ප්‍රමාණය 2023 වර්ෂයේ දී රුපියල් බිලියන 1,066 ක් දක්වා ද, එම වර්ෂවල සුරාබදු සහ දුම්කොළ යන අංශවල හිග බදු ප්‍රමාණය පිළිවෙලින් රුපියල් බිලියන 5.56 සිට රුපියල් බිලියන 7.27 දක්වා ද ඉහළ ගොස් තිබේ. 2023 වර්ෂයේ වාර්ෂික වාර්තාවට අනුව, 2023 දෙසැම්බර් 31 වන විට වැට් බදු හිග මුදල්‍ සහ පනවන ලද දඩ මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 455 ක් විය. අඩු ආදායම් ලාභීන් බොහෝ දෙනෙකුට අධික වියදම හේතුවෙන් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පරිභෝජනය අත්හැරීමට සිදුවී තිබෙන තත්ත්වයක් තුළ, පෞද්ගලික අංශය අඩු ආදායම්ලාභී වැඩ කරන ජනතාව අධික බරක් දරමින් ගෙවන වැට් බදු විශාල ප්‍රමාණයක් නීති විරෝධී ලෙස ඔවුන් සතුව තබාගෙන සිටිති. හුලංගමුව මහතා සභාපතීත්වය දරන ශ්‍රී ලංකා  වාණිජ මණ්ඩලය වසර ගණනාවක් තිස්සේ බදු ආශ්‍රිත වංචාවල නියැළී සිටින පෞද්ගලික අංශයේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටියි.

රජයට බදු ගෙවීමට සහ මහජනතාව දැනටමත් රජයට ගෙවා ඇති වැට් බදු රජයට ලබා දීමට අකමැත්තක් දක්වන පෞද්ගලික අංශය, රජයේ ආදායම් අඩුවීම මගින් ඇතිවන තත්ත්වයන් සූරාකෑමෙන් ලාභ උපයා ගැනීමට ද පසුබට නොවෙයි. ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ සාමාජිකයින් ද වන බැංකු සහ මූල්‍ය සමාගම්, බදු පැහැර හැරීම් සහ බදු සහන හරහා ඔවුන්ගේ මූල්‍ය පද්ධතිය තුළ එකතු වන අතිරික්තයන් රජයට ණයට ලබා දීම මගින් අතිවිශාල ලාභ උපයා ගනියි. ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය වැනි පෞද්ගලික අංශය වෙනුවෙන් පෙනී සිටින්නන්, රජයේ දේශීය ණය හිමි බැංකු, මූල්‍ය සමාගම් සහ ධනවත් පුද්ගලයින් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට භාජනය වීමෙන් ආරක්ෂා කර ගැනීම සඳහා රජය සහ ශ්‍රී ලංකා මහ බැංකුව පොළඹවා ගැනීමට ද සමත් වී ඇත. එයට සම්පූර්ණයෙන් වෙනස් ලෙස, මෙරට අඩු ආදායම්ලාභී වැඩ කරන ජනතාවට අයත් එකම සමාජ ආරක්ෂණ අරමුදල වන සේවක අර්ථසාධක අරමුදලට දේශීය ණය ප්‍රතිව්‍යූහගතකරණය යටතේ වසර 15 ක් තුළ ලැබිය යුතු පොළියට අදාළව 50% ට ආසන්න පාඩුවක් විඳ ගැනීමට සිදුවී තිබේ. තවද, 2022 අප්‍රේල් මාසයේ දී ණය ගෙවීම පැහැර හැරීමට හේතු වූ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ද ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ සාමාජිකයන් සතුව තිබේ. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාව විසින් 2024 අගෝස්තු මාසයේ දී ප්‍රකාශයට පත් කරන ලද, ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව විසින් සකස් කරන ලද වාර්තාවට අනුව, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ කොටසක් වන ආනයන-අපනයන සමාගම්, වෙළඳ ද්‍රව්‍යවල වටිනාකම් හෝ ප්‍රමාණයන් අඩුවෙන් දැක්වීම වැනි වැරදි ක්‍රියා හරහා නීති විරෝධී මූල්‍ය ප්‍රවාහයන්ට දායක වීම සහ ශ්‍රී ලංකා ආර්ථිකයට දැඩි ලෙස අවශ්‍ය කරන විදේශ විනිමය සහ බදු ආදායම වංචා කිරීම ආදිය සම්බන්ධයෙන් එම සමාගම් වලට චෝදනා එල්ල වී තිබේ. ණය ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් බදු පැහැර හරින්නන්, විදේශ විනිමය ආදායම් රැස්කරන්නන් සහ වංචනික මුදල් වෙළඳුන් වගකිව යුත්තන් බවට පත් කරනවා වෙනුවට, ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය මගින් ඔවුන්ගේ ලාභ සුරක්ෂිත කළේය.

ශ්‍රී ලංකාවේ දේශීය මූල්‍ය ආයතන සමූහයෙන් සමන්විත වූ දේශීය ණය හිමියන් වන, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ සාමාජිකයන් රජයට අවාසිදායක වූ ගනුදෙනුවකට එකඟ වීමට රජයට බල කළ ශ්‍රී ලංකා බැඳුම්කර හිමියන්ගේ තාවකාලික කණ්ඩායම සමග සාකච්ඡා පැවැත්වූ අවස්ථාවේ වොෂිංටන් නගරයේ පැවති ණය සාකච්ඡාවලට ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින්  සහභාගී වීම මගින් වගවීම සහ විනිවිදභාවය ආරක්ෂා කර ගැනීමට හුලංගමුව මහතා දැනටමත් අපොහොසත් වී ‍තිබේ. හුලංගමුව මහතා ණය ප්‍රතිව්‍යුහගත කිරීමට පෙර ආපසු ගෙවීමට තිබූ මුළු වටිනාකම වන ඇමරිකානු ඩොලර් බිලියන 16.3 ක ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 18.5 ට ආසන්න ප්‍රමාණයක් දක්වා වැඩි කළ, ශ්‍රී ලංකාවට අවාසිදායක ගනුදෙනුවකට එකඟ වූ රජයේ නියෝජිත කණ්ඩායමේ සාමාජිකයෙක් විය. එමගින්, ණය බර ප්‍රමාණවත් තරම් අඩු නොකර, 2025 වර්ෂයේ දී උපයන සෑම රුපියල් සියයකින් ම (100/-) රු. 60/- ක් පොළී ගෙවීම සඳහා වියදම් කිරීමට රජයට බල කරන ලද අතර, ඒ අනුව ආදායමෙන් වැඩිම කොටසක් පොළී ගෙවීම සඳහා යොදවන රට යන නාමය ශ්‍රී ලංකාවට හිමිවිය. අනෙක් අතට, ලංකා වාණිජ මණ්ඩලයේ සාමාජිකයන් ද වන දේශීය බැංකු සහ මූල්‍ය සමාගම් ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් පසුව වාර්තාගත ලාභ අත්කර ගනිමින් සිටියි.

හුලංගමුව මහතා තුළින් ද පිළිබිඹු වන, ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ එකම අපේක්ෂාව ලාභ උපරිම කර ගැනීම වේ. එය නිරන්තරයෙන් ම කම්කරු ප්‍රතිසංස්කරණ සඳහා යොමු වී ඇති අතර, වැඩ කරන ජනතාවගේ වැටුප් අඩු කිරීම සහ ඔවුන්ගේ අයිතිවාසිකම් සහ අනෙකුත් ප්‍රතිලාභ කප්පාදු කිරීම එම ප්‍රතිසංස්කරණ වලට ඇතුළත් වේ. ලාභය උදෙසා ලාභ උපරිම කිරීම ශ්‍රී ලංකාවේ ආර්ථිකය අඩු වැටුප් ආකෘතියක් තුළ සිර කර ඇති අතර, ඒ හේතුවෙන් වැඩ කරන ජනතාවගේ ජීවන තත්ත්වය පහත වැටෙමින් තිබේ. සාමාන්‍ය වටිනාකමට වඩා අඩු වටිනාකමක් සහිත නිෂ්පාදන බිහිවීමට තුඩු දෙන අඩු වැටුප් ආකෘතිය, ශ්‍රී ලංකාව මුහුණ දෙන නිරන්තර ගෙවුම් ශේෂ අර්බුදයට බලපාන ප්‍රධානතම සාධකයක් වේ.

මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත් කරනු ලැබුව හොත්, හුලංගමුව මහතා රජයේ තීරණ ගැනීමේ හැකියාවන් තවදුරටත් හීන කරමින් ශ්‍රී ලංකාවේ ජනතාවගේ ස්වෛරී අයිතීන් ඛාදනය කර දමනු ඇත. හුලංගමුව මහතා ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයෙහි ස්වකීය මිතුරන් සඳහා දිනා දුන් ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ගනුදෙනුව දැනටමත් ශ්‍රී ලංකාවට 2028 වර්ෂය වන විට මුහුණ දීමට සිදුවන ඉරණමට දෙවන ණය පැහැර හැරීමක් ද එකතු කර ඇත. මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස හුලංගමුව මහතා නිසැකවම ශ්‍රී ලංකාවේ ඉදිරි ක්ෂණික කඩාවැටීම කඩිනම් කරනු ඇත.

පහත අත්සන් කර ඇති අපි, හුලංගමුව මහතාව මුදල් අමාත්‍යාංශයේ ලේකම් තනතුරට පත්කරනු ලැබීම සඳහා සලකා බැලීමට දැඩි ලෙස විරුද්ධ වෙමු. හුලංගමුව මහතා ජනාධිපති උපදේශක තනතුරෙන් ඉවත් කර, ඒ වෙනුවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ, ලෝක බැංකුවේ සහ ආසියානු සංවර්ධන බැංකුවේ පීඩනයන්ගෙන් නිදහස් වූ සහ ණය බරෙන් තොර අනාගතයක් කරා ශ්‍රී ලංකාව මෙහෙයවීමට හැකියාව ඇති, සුදුසුකම් ලත් සිවිල් සේවකයෙකු පත් කරන ලෙස අපි ඉල්ලා සිටින්නෙමු.

ස්වස්තිකා ආරුලිංගම්

සභාපති
එක්සත් කම්කරු සම්මේලනය

සමග අත්සන් කළේ,

අතුරුදහන් වූවන්ගේ පවුල්, මානව උන්නතාංශ සංවිධානය, ඉඩම් සහ කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ සඳහා වූ ව්‍යාපාරය (MONLAR), වතු ජනතාවගේ ඉඩම් අයිතිවාසිකම් සඳහා වූ ව්‍යාපාරය, ශ්‍රමාභිමානි කේන්ද්‍රය, වතු අංශයේ සංවර්ධනය සඳහා වූ සමාජ ආයතනය, ස්ටෑන්ඩ්අප් ව්‍යාපාරය ලංකා, වතු ජනතාවගේ හඬ සංවිධානය

ආචාර්ය අමාලි වෙදගෙදර, බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානය (BCIS)
ඇන්ජලිකා චන්ද්‍රසේකරන් – මානසික සෞඛ්‍ය වෘත්තික

අනුෂයා කොල්ලුරේ – මානව හිමිකම් ක්‍රියාකාරිනි
අශිලා දන්දෙණිය
බී. ස්කන්තකුමාර් – සමාජ විද්‍යාඥයින්ගේ සංගමය (SSA)
චන්ද්‍රිකා ගඩිවසම්, නිදහස් ලේඛිකා
ක්‍රිස්ටීන් පෙරේරා, සත්ව හා සෞඛ්‍ය ක්‍රියාකාරිනි
ජොඈන් සෙන් – උපදේශන මනෝවිද්‍යාඥ
මහාචාර්ය මංජුලා මාගමගේ, සබරගමුව විශ්ව විද්‍යාලය
ආචාර්ය මහේන්ද්‍රන් තිරුවරන්ගන්, යාපනය විශ්ව විද්‍යාලය
රුකී ප්‍රනාන්දු – මානව හිමිකම් ක්‍රියාකාරිනි
ආචාර්ය සකුන්තලා කදිරගාමර්
සඳුන් තුඩුගල
විශ්‍රාමික මහාචාර්ය සුමනසිරි ලියනගේ, පේරාදෙණිය විශ්වවිද්‍යාලය
මහාචාර්ය සුමති සිවමෝහන්, පේරාදෙණිය විශ්වවිද්‍යාලය
සුනිල් බැස්ටියන් – දේශපාලන ආර්ථික විද්යාඥ
තරිඳු උඩුවරගෙදර – Satahan Media and Publishers
තුසිත සිරිවර්ධන – නීතිඥ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *