ප්‍රධාන පුවත්

NPP ආණ්ඩුව හරියට ප්ලේටෝගේ හිර කඳවුරේ යකඩ දම්වලින් බැඳි සිරකරුවන් වගේ!

ලසන්ත ඝාතනය එවකට ආණ්ඩුවේ සිටියවුන්ගේ හෝ හමුදාවේ සිටියවුන්ගේ හෝ ඒ දෙගොල්ලන්ගේම හෝ වැඩක් යැ යි අනුමාන කිරීමට මනා පුහුණුවක් ලද බුද්ධි මණ්ඩල කෙරුමෙකු වීම අනවශ්‍ය ය. එහෙත් ඇත්ත උණ්ඩ කරුවා සහ ඔවුන් පසුපස නියම වශයෙන් සිටියවුන් නිශ්චය කර ගැන්ම එතරම් පහසු නොවේ. සැකපිට අත් අඩංගුවට ගෙන ඇත්ත වුනට නඩු පැවරීමට තරම් සාක්ෂි නැති හෙයින් ඔවුන් නිදහස් කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව යෝජනා කිරීම සමග සිදුවූයේ බඹරයට ගල් ගැසීමකි. හැම පැත්තක්ම ඇවිලුණි.

හොරුන්, ඝාතකයන් අල්ලන්න NPP ආණ්ඩුවට ඇත්ත වුවමනාවක් නැතැයි යන තර්‍කය ශක්තිමත්ව ගොඩ නැගීම ආණ්ඩු විරෝධීහු පෙළ ගැසුනහ. නීතිඥ සංගමය කීවේ ආණ්ඩුව අධිකරණ ක්‍රියාවලියට ඇඟිලි නොගැසිය යුතු බවය. විරුද්ධ පක්ෂයේ  අයද අඩු වැඩි වශයෙන් මේ තර්‍කයම නැගූහ. ජනාධිපතිවරයාද නීතිපතිවරයා ගෙන්වා තරවටුවක් කලේ ලු. NPP ආණ්ඩුවේ න්‍යායචාර්‍යවරුනට මෙතනදී මේ මට්ටමෙන් නැවතිය නොහැකි ය.

රජය අල්ලන්න බැරි වෙච්ච එකද ප්‍රශ්නෙ?

මේ සිදුවන සමස්ත සිදුවීම් සහ ක්‍රියාවලිය සාධාරණය කෙරෙන න්‍යායකරණයක් ඇවසි වේ. NPP ආණ්ඩුවට වරද පැටවිය නොහේ. තර්‍කය මෙසේ ය. ඊට වැලැඩිමීර් ඉලිච් ලෙනින් ද උදව් කරනු ඇත. 2024 අග භාගයේ සිදුවූයේ ආණ්ඩුව මාරුවීමකි. රාජ්‍යය වෙනස් වූයේ නැත. මේ සිදුවන්නේ ප්‍රගතිශීලි ආණ්ඩුව සහ නොවෙනස් වූ රජය අතර ඇති කඹ ඇදිල්ලකි. විරුද්ධාභාසයෙකි.

2015 යහපාලන ආණ්ඩුවට හරිමනත් යමක් කර ගන්නට බැරි වූ විට ඒ ආණ්ඩුවේ න්‍යායචාර්‍යවරයෙකු වූ රාජිත සේනාරත්න ඉදිරිපත් කළ තර්‍කය ද ඕකම ය. රාජිතත් ලෙනින් ගේ රජය හා විප්ලවය කලකට පෙර කියවා තිබෙන්නට ඇත.

ආණ්ඩු බලය අල්වා ගැන්මෙන් පසු රාජ්‍යය අල්වාගැන්මට නොහැකි කෙරෙන නොවෙනස් කළ නොහැකි නිරපේක්ෂ නියාමයක් නැත. එසේ කළ හැකි බව ෆිඩෙල් කැස්ත්‍රෝ සනාථ කලේ ය. හියුගෝ චාවේස් එයම කළේ ය. රාජ්‍යය වෙනස් කිරීමට ආණ්ඩු බලය අල්වා ගැන්ම බොහෝ විට ප්‍රමාණවත් වේ.

මේ බලය ගත්තේ ආපහු නොදෙන්න යැ යි වාසි බස් දෙඩීමෙන් ඵලක් නැත. NPP ය බලයට ආ දා සිට කරේ රාජ්‍ය බලයට යටවීම ය. අධිරාජ්‍ය මූල්‍ය ක්‍රමයට, IMF – WB එකට යටවීම විවෘත හා නිවට ලෙස පිළිගත් ආණ්ඩුව එහි දේශීය පිල්ලිවන මහ බැංකු අධිපති හා මුදල් අමාත්‍යාංශ ලේකම් එසේම තබා ගත්තේ ය.

NPP ය ජනාධිපති ධූරය හා පාර් ලිමේන්තු වේ 159 ක් තියාගෙන රාජ්‍ය යන්ත්‍රයේ මේ වෙනස්කම් කිරීමට කොන්දක් තිබුනේ නැත. තමන්ට හිතවත් හමුදා සහ පොලිස් නිලධාරීන් පත්කර ගත්ත ද හමුදා සහ පොලිස් ව්‍යුහ එසේම තබා ගත්තේ ය. NPP යේ කේඩරය වන JVP යට ධනේශ්වර රාජ්‍යය ගැන කවදාවත් නිවැරදි අදහසක් නොතිබින. ඒ ඇත්තන් කල්පනා කලේ තියෙන රාජ්‍යය සුණුවිසුනු කළ යුතු බව නොවේ. එය ජනසතු කළයුතු බවය.

NPP ය රාජ්‍ය නිලධරයේ, හමුදා සහ පොලිසියේ, අධිකරණ යේ කිසිදු ව්‍යුහාත්මක වෙනසක් කිරීම ප්‍රතික්ෂේප කලේ ය. ධනේශ්වර රාජ්‍යයේ වුවමනාව සහ පැවැත්ම සපථ කිරීමට පැන වූ නීති එසේම තබා ගැන්මට NPP ආණ්ඩුවේ ප්‍රතිපත්තිය විය. ත්‍රස්තවාදය මැඩලීමේ පනත, මධ්‍යම බැංකු සංශෝධන පනත, සහ ආර්ථික පරිවර්තන පනත අකුරක් වෙනස් නොකොට එලෙසම තබා ගත්තේ ය. අවශ්‍ය clean කිරීම අලුත් දෙයක් හැදීමය. එය නිවට නියාලු කමෙන් පටන්ගත හැක්කක් නොවේ.

හර්යට ම NPP ආණ්ඩුව ප්ලේටෝ ගේ හිර කඳවුරේ යකඩ දම්වලින් බැඳි සිරකරුවන් වැනිය. එය සත්‍යය -යථාර්තය- ලෙස දකින්නේ IMF ගිනිමැලයෙන් බිත්තියේ පෙන්වන සෙවණැලි රූප ය.

 

 

සුමනසිරි ලියනගේ

ලියූ සටහනකි!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *