කාල් මාක්ස්ගේ ආචාර්‍ය්‍ය උපාධි නිබන්ධය
ආසන්න වශයෙන් මීට වසර 182ට පෙර එනම් වර්‍ෂ 1841දී පමණ ජර් මන් භාෂාවෙන් ලියා අවසන් කරන ලද 1842 වර්‍ෂයේ දී මුද්‍රණයෙන් එළි දැක්වුන කාල් මාක්ස්ගේ ආචාර්ය උපාධි නිබන්ධය වූයේ ‘ඩිමොක්‍රිටස්ගේ ස්වාභාවික දර්‍ශනය සහ එපිකියුරස්ගේ ස්වාභාවික දර්‍ශනය අතර වෙනස’ යන්න ය.
එය ලොව පුරා විශාල ප්‍රමාණයක් විද්වතුන්ගේ සහ විචාරකයින්ගේ අවධානය දිනාගත් සුවිශේෂ කෘතියක් ලෙසින් ද සැලකෙයි. භාෂා ගණනාවකට පරිවර්තනය වී ඇති මෙම ඓතිහාසික නිබන්ධය මුල්වතාවට සිංහල භාෂාවට පරිවර්තනය කර එළි දැක්වීමක් පසුගිය පෙබරවාරි 22 දින සිදුව ඇත. දක්ෂ ලේඛකයෙකු මෙන්ම වාමාංශික දේශපාලන ක්‍රියාකාරීකයෙකු වන චමිල් ජයනෙත්ති මහතා විසින් එම සුවිශේෂ කාර්‍ය්‍ය සිදුකර ඇත.
ජයනෙත්ති මහතා කාල් මාක්ස්ගේ ආචාර්‍ය්‍ය උපාධි නිබන්ධය සිංහල භාෂාවට පරිවර්තනය කිරීම මගින් ඓතිහාසික කාර්යභාරයක් ඉටු කර ඇති බව පළමුවෙන් ම ප්‍රකාශ කළ යුතු ය. ශ්‍රී ලාංකේය සන්දර්භය තුළ මාක්ස්වාදී චින්තනය විවිධ පරිමාණයන්ගෙන් ක්‍රියාත්මක වන බව ද අර්‍ථකතනය වන බව ද පැහැදිලි ය.
එක් පැත්තකින් ජනප්‍රිය කතිකාව තුළ සමහර දේශපාලන පක්‍ෂ තම පදනම්වාදය ලෙස මාක්ස්වාදී මූලධර්‍ම පවත්වාගෙන යන අතර මාක්ස්වාදයට විරුද්ධ ව්‍යාපාර තුළ මාක්ස්වාදයේ ඇති නිෂේධනීය අංශ ගැන දෘඨ විවේචන ඉදිරිපත් කෙරේ.
එපමණක් නොව විද්වත් කතිකාව තුළ මාක්ස්වාදී චින්තනයේ හරයාත්මක බව, සමකාලීන වැදගත්කම, මානවීය බව හා ක්‍රමවේදීය අගය වැනි අංශ පිළිබඳ ව ඉහළ පෙළේ සාකච්ඡා සිදුවුන බව මෙන්ම දැනටත් එය සිදුවෙමින් පවතින බව කිව හැකියි.
එසේම මාක්ස් දාර්ශනිකයකු ලෙස හඳුනාගෙන සිදුකරන ශාස්ත්‍රීය විවරණ ද විරල නොවේ. එමෙන්ම සමාජීය විද්‍යා ක්ෂේත්‍රය තුළ මාක්ස් සම්භාව්‍ය න්‍යායවාදියෙකු ලෙස සැලකේ. ධනවාදී අර්ථ ක්‍රමය ප්‍රබල විචාරකයෙකු ලෙස මාක්ස්ගේ සමාජවාදය විසින් වරින්වර ඉදිරිපත් කරන ලද අදහස් සහ මතවාද ඒ සඳහා පදනම් කරගෙන ඇති බව කිව හැකි ය.
මේ සියලු කරුණු සලකා බලන විට ‘කාල් මාක්ස්’ නැමති චින්තකයාගේ, මානවවාදියාගේ, සමාජ විද්‍යාඥයාගේ, දාර්‍ශනිකයාගේ ප්‍රභවය ගැන අවධානය යොමු කිරීම අත්‍යවශ්‍ය ය.
සැබවින්ම මාක්ස්වාදය උපත ලබන්නේ කාල් මාක්ස් විසින් වයස අවුරුදු විසිතුනේදී පමණ ලියා අවසන් කරන ලද ඔහුගේ ආචාර්‍ය්‍ය උපාධි නිබන්ධයෙන් බව කීම අවිවාදාත්මක ය. ග්‍රීක දාර්ශනිකයින් දෙදෙනෙකු වූ ඩිමොක්‍රිටස්ගේ හා එපිකියුරස් යන දෙදෙනා ඉදිරිපත් කළ ස්වාභාවික දර්ශනය පිළිබඳ ව වෙනස සාකච්ඡා කරන මෙම නිබන්ධය මාක්ස්වාදයේ බීජය රෝපනය කරන ලද අවස්ථාවයි.
මෙම නිබන්ධය ඉදිරිපත් කොට වසර 182ට ආසන්න කාලයක් ඉක්මවා පැවතිය ද මෑතක් වන තුරු එය සිංහල භාෂාවට පරිවර්තනය වීමක් සිදුවී නොතිබුණ බවද කිව යුතු ය.
ඉහත සඳහන් කළ පරිදි මාක්ස්වාදය විවිධ පරිමාණයෙන් ලංකාව තුළ භාවිත වුව ද ශාස්ත්‍රීය වශයෙන් මෙම කෘතිය පරිවතර්‍නය නොවීම අඩුවකි. එම අඩුව පිරිමසමින් චමිල් ජයනෙත්ති මහතා එම සුවිශේෂ කෘතියෙහි අන්ර්‍තගතයට කිසිදු හානියක් නොවන ලෙසින් ඉතාමත් සාර්‍ථකව සිංහල භාෂාවට පරිවර්තනය කොට ප්‍රකාශයට පත් කිරීම ඉදිරි පියවරකි.
මාක්ස් ගැන අවධානය යොමු කරන ඕනෑම අයෙකු පළමුව ‘මාක්ස්’ බිහි වූ නිබන්ධයට අවධානය යොමු කළ යුතු ය. මාක්ස්වාදය හැදෑරීමේදී භාවිත කළ පළමු ප්‍රාථමික මුලාශ්‍රය ලෙස ඔහුගේ ආචාර්‍ය්‍ය උපාධි නිබන්ධය සැලකිය හැකි ය. මාක්ස් නැමැති ජෛවීය පුද්ගලයා භෞතිකවාදියෙකු වූයේ මන් ද යන ප්‍රශ්නයට පිළිතුරු මෙන්ම භෞතිකවාදය සමාජගත කිරීම සඳහා මාක්ස්වාදයෙන් සිදුවුන අසහාය බලපෑම ද ජයනෙත්ති මහතාගේ පරිවර්තනය ඇසුරින් හඳුනාගත හැකි ය.
එමෙන්ම කාල් මාක්ස් විශ්වයේ විවිධත්වය තුළ සමස්ථය හඳුනා ගත් ආකාරය මෙන්ම මෙම මහා විශ්වයේ දරන තැන සොයා යාම පැහැදිලි කළ හැකි වන්නේ ස්වාභාවික භෞතිකවාදී දෘෂ්ටියෙන් පමණක් යයි ද වටහා දීමට මෙහිදී උත්සාහ කර ඇත.
එබැවින් විශ්වවිද්‍යාලයීය මට්ටමින් දර්‍ශනය හදාරණ විද්‍යාර් ථීන්ට ද මෙම පරිවර්තනය මහත් පිටුවහලක් වන බව මෙහිදී ප්‍රකාශ කළ යුතු ය. කාල් මාක්ස්ගේ ආචාර්ය උපාධි නිබන්ධය වැනි සුවිශේෂ කෘතියක පරිවර්තනයක් පිළිබඳව විවිධ මට්ටමින් අදහස් මෙන්ම විවේචන ද ඉදිරිපත් කළ හැකි වුවද අගය කළ යුතු ශාස්ත්‍රීය ව්‍යායාමයක් බැවින් චමිල් ජයනෙත්ති මහතාට සුබ පතන අතර ඉදිරියේදීත් මෙවන් ශාස්ත්‍රීය කටයුතු සිදුකිරීමට අවකාශය ලැබෙනු ඇතැයි මම උදක්ම අපේක්‍ෂා කරමි.
මහාචාර්‍ය්‍ය නාමලී කුමාරි හඳගම
මහාචාර්‍ය්‍ය නාමලී කුමාරි හඳගම, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ දර්‍ශන හා මනෝවිද්‍යා අංශයේ මහාචාර්‍ය්‍යවරියක්. ඇය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දර්ශන අංශයේ විශේෂ උපාධි පාඨමාලාවට තේරි පත්වී දෙවැනි පන්තියේ විශේෂ උපාධිය ඉහළ අගයකින් සමත් විය. එපමණක් නොව දර්‍ශනය පිළිබඳ විශිෂ්ඨතම නිපුණතාවය සඳහා ත්‍යාගය 1995දී ඇය දිනාගන්නා ලදී. ඉන්පසුව ඇය සහකාර කථිකාචාර්යවරයකු ලෙස දෙපාර්‍තමේන්තුවේ අධ්‍යයන කාර්‍ය්‍ය මණ්ඩලයට සම්බන්ධ වූවා ය.
මුල්කාලවකවානුවේ, පළමු වසරේ සිසුන් සඳහා ‘තර්‍කය හා විද්‍යාත්මක ක්‍රම’ පිළිබඳව උගන්වනු ලැබූ ඇය, අනතුරුව විශේෂ උපාධි පාඨමාලාව සඳහා ලියාපදිංචි වූ දෙවන වසර සිසුන් සඳහා ‘ග්‍රීක දර්ශනය’ සහ ‘ආචාර ධර්‍ම’ පිළිබඳව දේශන පවත්වාගෙන ගියා ය. ඇය පරිවාස කථිකාචාර්‍ය්‍යවරියක ලෙස සේවය කරන අතරතුර, දර්‍ශනය පිළිබඳ දර්‍ශනපති උපාධිය (M. Phil.) ලබාගනියි. ඉන් අනතුරුව 2001 වසරේ එම දෙපාර්තමේන්තුවේම ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු ලෙස පත්වීම් ලැබූ ඇය, අද පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දර්ශන අංශයේ අංශාධිපතිනිය ලෙස විශිෂ්ට කාර්‍ය්‍යභාරයක් සිදුකරමින් සිටියි.