ධනවාදයට ආදේශ කළ යුත්තේ සමාජවාදය නොව ප්‍රජාතන්ත්‍රවාදය ද? : මයිකල් රොබර්ට්ස්
ප්‍රමුඛ වාමාංශික ආර්ථික විද්‍යාඥයින් වන ජේසන් හිකල් සහ යානිස් වරූෆකිස් එක්ව මේ සතියේ බ්‍රිතාන්‍ය පුවත්පතක් වන ගාඩියන් සඳහා ලිපියක් ලියන ලදී.”අපට ධනවාදී ආකෘතියෙන් ඔබ්බට ගොස් දේශගුණ තත්ත්වය සුරැකිය හැකිය – මෙන්න පළමු පියවර තුන” ලෙස එහි මාතෘකාව විය. ජේසන් හිකල් බාර්සිලෝනා Autonomous විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකු සහ LSE හි ආරාධිත ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකි. යානිස් වරූෆකිස් යනු MeRA25 හි නායකයා වන අතර ඔහු හිටපු මුදල් අමාත්‍යවරයෙකු සහ තාක්ෂණික වැඩවසම්වාදය: ධනවාදය මරා දමන ලද්දේ කුමක් විසින්ද? කෘතියේ කතුවරයා ය.
හිකල් සහ වරුෆාකිස් ගේ අදහස් වල ආරම්භය ඉතා පැහැදිලි ය. “අපගේ පවතින ආර්ථික ක්‍රමය 21 වන සියවසේ අප මුහුණ දෙන සමාජ හා පාරිසරික අර්බුදවලට මුහුණ දීමට අපොහොසත් වේ. අප අවට බලන විට අපට අසාමාන්‍ය විරුද්ධාභාසයක් දක්නට ලැබේ. එක් අතකින්, අපට කැපී පෙනෙන නව තාක්ෂණයන් වෙත ප්‍රවේශය වීමට සහ අපට අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි ආහාර, හෝ ග්‍රහලෝකයට දැරිය හැකි ප්‍රමාණයට වඩා වැඩි ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමට සාමූහික ධාරිතාවක් ඇති බව පෙනෙන්නට ඇත. එහෙත් ඒ සමඟම, මිලියන සංඛ්‍යාත ජනතාවක් අදහා ගත නොහැකි පීඩාවන්ට මුහුණ දෙති.
“මෙසේ වන්නේ ඇයි?” හිකල් සහ වරූෆකිස් අපට සෘජුවම කියන්නේ ගැටලුව “ධනවාදය” බවයි. මෑතකදී ‘ධනවාදය මිය ගොස් ඇත’, එය වැඩවසම්වාදය හෝ වඩාත් නිවැරදිව ‘තාක්ෂණික වැඩවසම්වාදය’ මගින් ප්‍රතිස්ථාපනය කර ඇත, යනුවෙන් තර්ක කරන පොතක් ලියා ඇති වරූෆකිස්ගෙන් ලැබෙන මේ පිළිතුර අමුතු එකකි. නමුත් ඉන් අනතුරුව හිකල් සහ වරූෆකිස් ධනවාදයට ගෙන එන අර්ථ දැක්වීම තරමක් අමුතු එකකි. ධනවාදය යන්නෙන්, ඔවුන් අදහස් කරන්නේ “ධනවාදයේ නැගීමට පෙර වසර දහස් ගණනක් තිස්සේ පැවති වෙළඳපොළ, වෙළඳාම සහ ව්‍යවසායකත්වය” යන ඒවා නොවේ. එය සත්‍යයකි. නමුත් ඒ වෙනුවට, මෙම කෘතියේ කතුවරුන් පවසන්නේ “ධනවාදය යන්නෙන් අප අදහස් කරන්නේ ඉතා අමුතු හා ඉතා නිශ්චිත දෙයක් බවයි: ප්‍රාග්ධනය පාලනය කරන කුඩා සුළුතරය එනම් විශාල බැංකු, ප්‍රධාන සංස්ථා සහ ආයෝජනය කළ හැකි වත්කම්වලින් බහුතරයක් හිමි 1% විසින් පවත්වාගෙන යනු ලබන ආඥාදායකත්වයකට ලඝු කළ හැකි ආර්ථික ක්‍රමයක්.”
මෙය ‘අමුතු’ වන්නේ මන්දැයි මට විශ්වාස නැත. මක් නිසාද යත්, ප්‍රාථමික යුගයේ සිට මානව සමාජ සංවිධානයේ ඉතිහාසය මිනිසුන් පන්තිවලට බෙදීමකි. පාලක පන්තියක් විවිධ සමාජ ක්‍රම හරහා ඉතිරි බහුතර ජනතාව සූරාකෑමේ සමාජ බෙදීමකි: වහල්භාවය, වැඩවසම්වාදය, පරමාවාදය සහ පසුගිය වසර 250 ක් පමණ නිෂ්පාදන මාධ්‍යයන්හි හිමිකාරිත්වය සහ පාලනය හරහා මානව ශ්‍රම බලය ධනවාදී සමාජ ක්‍රමය ලෙස සූරාකන ලදී. ඇත්ත වශයෙන්ම, කතුවරුන් පවසන පරිදි, ධනවාදය යටතේ “නිෂ්පාදනයේ අරමුණ ප්‍රධාන වශයෙන් මිනිස් අවශ්‍යතා සපුරාලීම හෝ සමාජ ප්‍රගතිය අත්කර ගැනීම නොවේ. ඕනෑම පාරිසරික වශයෙන් වැදගත් ඉලක්ක සපුරා ගැනීම ඇත්තේ ඊටත් වඩා පහලිනි. අරමුණ වන්නේ ලාභය උපරිම කිරීම සහ නොකඩවා රැස් කිරීමයි. ප්‍රමුඛ අරමුණ එයයි. මෙය ධනේශ්වර වටිනාකම් නීතියයි. ලාභ උපරිම කිරීම සඳහා, ප්‍රාග්ධනයට සදාකාලික වර්ධනයක් අවශ්‍ය වේ – අවශ්‍ය දෙයක්ද හෝ හානිකරද යන්න නොසලකා, නිරන්තරයෙන් වැඩිවන සමස්ත නිෂ්පාදනය එහි එහි හරයයි.”
ගෝලීය උණුසුම සහ හරිතාගාර වායු විමෝචනය අඩු කිරීම ධනවාදය යටතේ කටයුතු නොකිරීමට හේතුව, ඔවුන් නිවැරදිව පෙන්වා දෙන්නේ, දැනටමත් ෆොසිල ඉන්ධන වලට වඩා පුනර්ජනනීය බලශක්තිය විශාල වශයෙන් පිරිවැය අඩු නමුත්, ෆොසිල ඉන්ධන නිෂ්පාදනය තුන් ගුණයකින් ලාභදායී බැවින් ධනවාදය එම ප්‍රශ්නය සමග නිවැරදිව ගනුදෙනු නොකරන බවයි. “ඒ හා සමානව, අධිවේගී, ආරක්ෂිත පොදු දුම්රිය මාර්ගවල නවීන ජාලයකට වඩා පෞද්ගලික කොන්ත්‍රාත්කරුවන්ට, මෝටර් රථ නිෂ්පාදකයින්ට සහ තෙල් සමාගම්වලට අධිවේගී මාර්ග ඉදිකිරීම සහ නඩත්තු කිරීම බොහෝ ගුණයකින් ලාභදායී වේ. එබැවින් ලෝකය ගිනි ගනිමින් තිබියදී පවා, පොසිල ඉන්ධන සහ මාර්ග ඉදිකිරීම සඳහා සහනාධාර ලබා දීමට ධනපතියන් රජයන්ට දිගටම බලපෑම් කරයි.” කතුවරුන් නිර්දය ලෙස පවසන පරිදි: “වෘකයෙකු බැටළු පැටවෙකු ගැන සැලකිලිමත් වන තරමටම ධනවාදය අපගේ වර්ගයාගේ අපේක්ෂාවන් ගැන සැලකිලිමත් වේ.”
ධනවාදය සාමූහික යහපත සඳහා තාක්ෂණයන් සහ ආයෝජන අවහිර කරමින් සිටින අතර එය “අපව අධිරාජ්‍යවාදී ප්‍රචණ්ඩත්වයේ නිමක් නැති චක්‍රවලට” කොටු කරයි. අධිරාජ්‍යවාදය යනු ධනවාදයේ නිෂ්පාදනයක් වන අතර, එහිදී “දියුණු ආර්ථිකයන්හි ප්‍රාග්ධන සමුච්චය ගෝලීය දකුණේ ලාභ ශ්‍රමයේ සහ සොබාදහමේ දැවැන්ත යෙදවුම් මත රඳා පවතී. ධනවාදයේ මෙම සැකැස්ම පවත්වා ගැනීම සඳහා, ප්‍රාග්ධනය තමන් සතුව ඇති සෑම මෙවලමක්ම භාවිතා කරයි – ණය, සම්බාධක, කුමන්ත්‍රණ සහ ගෝලීය දකුණේ ආර්ථිකයන් යටත් කර තබා ගැනීම සඳහා සම්පූර්ණයෙන්ම මිලිටරි ආක්‍රමණය පවා සිදු කරයි.”
එසේනම්, ධනවාදයට සහ අධිරාජ්‍යවාදයට පිළිතුර කුමක්ද? කතුවරුන් නැවතත් සෘජුව තම අදහස් ඉදිරිපත් කරති. “විසඳුම අප දෙස බලා සිටී. අපට වහා ධනේශ්වර වටිනාකම් නීතිය ජය ගත යුතුය” ඔව්. නමුත් ධනවාදයේ වටිනාකම් නීතිය ජය ගැනීමේ වැඩසටහනක් සම්බන්ධයෙන් ගත් කල, අපගේ කතුවරුන් විසින් ඉදිරිපත් කරන විකල්ප මොට එකකි. හිකල් සහ වරුෆාකිස් අපට අවශ්‍ය කොන්දේසි තුනක් ඉදිරිපත් කරයි. නමුත්ඒ ධනවාදය සමාජවාදයෙන් ප්‍රතිස්ථාපනය කිරීමට නොව, ධනවාදී “ආඥාදායකත්වය” “ක්‍රියාකාරී සහ පාරිසරික වශයෙන් යහපත් ප්‍රජාතන්ත්‍රවාදී එකක්” වශයෙන් ප්‍රතිස්ථාපනය කිරීමට ය. එබැවින් ගමන ධනවාදයෙන් සමාජවාදයට නොව, ඒකාධිපතිත්වයේ සිට ප්‍රජාතන්ත්‍රවාදයට ය.
මෙම ලිපියේ, ‘සමාජවාදය’ යන වචනය සම්පූර්ණයෙන්ම අතුරුදහන් වී ඇත.
කතුවරුන් ඔවුන්ගේ වෙනස්කම් සඳහා කොන්දේසි තුන ලිපියේ සඳහන් කළ විට සමාජවාදය ලිපියේ අතුරුදන් වන්නේ මන්දැයි පැහැදිලි වේ. “පළමු කොන්දේසිය වන්නේ විනාශකාරී පෞද්ගලික “ආයෝජන” සඳහා දඬුවම් කරන සහ පොදු අරමුණු සඳහා රාජ්‍ය මූල්‍ය හැකියාව ලබා දෙන නව මූල්‍ය අංගව්‍යුහයකි.” එය තරමක් අපැහැදිලි දෙයක්; ප්‍රායෝගිකව මෙයින් අදහස් කරන්නේ කුමක්ද? “මෙම අංගව්‍යුහයේ මධ්‍යයේ අපට නව රාජ්‍ය ආයෝජන බැංකුවක් අවශ්‍ය වන අතර එය මහ බැංකු සමඟ එක්ව, පවතින ද්‍රවශීලතාවය පොදු, තිරසාර සමෘද්ධියට අනුකූල ආයෝජන ප්‍රවර්ග බවට පරිවර්තනය කරයි.” එහි තේරුම කුමක්ද? මූල්‍ය ප්‍රාග්ධනයේ ආධිපත්‍යයට පිළිතුර වන්නේ බැංකු, රක්ෂණ සමාගම්, හෙජ් අරමුදල් ආදිය අත්පත් කර ගැනීම සහ ඉන් පසුව ආයෝජන සැලසුම් කිරීම නොවේ ද?. නැත, එය පවතින ධනේශ්වර මූල්‍ය අංශය සමඟ තරඟකාරීව රාජ්‍ය බැංකුවක් පිහිටුවීමට පමණක් ලඝු වූ විසඳුමකි. නූතන ආර්ථිකයන්හි ධනේශ්වර ආයෝජනය රාජ්‍ය ආයෝජනවලට වඩා පස් ගුණයකින් විශාල බැවින්, මෙම යෝජනාව එම අනුපාතය ආපසු හරවා ධනවාදයේ ‘ආඥාදායකත්වය’ අවසන් කරන්නේ කෙසේද?
දෙවන කොන්දේසිය වන්නේ “නව රාජ්‍ය මූල්‍ය මෙවලම් ඉලක්ක කර ගන්නා ආංශික, කලාපීය සහ ජාතික ඉලක්ක (උදා: විවිධ නිමැවුම් වර්ධනය හෝ අඩු කිරීම සම්බන්ධයෙන්) තීරණය කිරීම සඳහා සාකච්ඡාමය ප්‍රජාතන්ත්‍රවාදය පුළුල් ලෙස භාවිතා කිරීමයි.” එබැවින් අපගේ රාජ්‍ය ආයෝජන බැංකුව ප්‍රජාතන්ත්‍රවාදීව පවත්වාගෙන යා යුතු අතර එය කරන ආයෝජන පිළිබඳ තීරණ ප්‍රජාතන්ත්‍රවාදීව ගත යුතුය. හොඳයි, නමුත් ඇමරිකා එක්සත් ජනපදයේ දැවැන්ත පෞද්ගලික ආයෝජන බැංකු, එක්සත් රාජධානියේ විශාල වාණිජ බැංකු පහ ආදිය ගනු ලබන ආයෝජන තීරණ ගැන කුමක් කිව හැකිද? ඔවුන්ගේ තීරණ සම්පුර්ණයෙන් නොසලකා හැර ඇති බව පෙනේ.
ආහ්! නැහැ, ඒවා එසේ නොවේ, මන්ද කතුවරුන්ට අනුව, ධනේශ්වර ‘ඒකාධිපතිත්වය’ අවසන් කිරීම සඳහා තුන්වන කොන්දේසිය වන්නේ, “එක් සේවකයෙකු, එක් කොටසක්, එක් ඡන්දයක් යන ක්‍රියාවලිය ඔස්සේ ක්‍රියාත්මක වන” සමාගම් පිහිටුවීමයි. සංස්ථා පොදු හිමිකාරිත්වයට ගෙන ඒමක් නැත. ඒ වෙනුවට, සෑම සේවකයෙකුටම කොටසක් සහ සමාගම් තීරණ වලදී ඡන්දයක් ලැබේ. මෙය අමුතුයි වන්නේ මන්ද, ඕනෑම සේවකයෙකුට දැන් සමාගමක කොටසක් මිලදී ගෙන ඡන්දය දිය හැකිය. දැනටමත් විශාල සංස්ථා, පෞද්ගලික කොටස් සමාගම් සහ මූල්‍ය ආයතන විසින් දරනු ලබන කොටස් වලට කුමක් සිදුවේද? ඒවා අත්පත් කර ගත යුතු නොවේද? ඒවා එසේ නම්, එක් සේවකයෙකු, එක් ඡන්දයක් යන අදහස අපට ලබා දීම වෙනුවට එය පැහැදිළිව නොකියන්නේ ඇයි?
පාරිසරික බිඳවැටීම වළක්වා ගෝලීය දරිද්‍රතාවය අවසන් කරන ලෝකයක් තිබිය හැකි බවට කරන ප්‍රකාශයකින් කතුවරුන් තම ලිපිය අවසන් කරයි: “එය ස්පර්ශ කළ හැකි අපේක්ෂාවකි”. ගැටලුව වන්නේ හිකල් සහ වරුෆාකිස් විසින් ඉදිරිපත් කරන ලද ප්‍රතිපත්ති වට්ටෝරු තුන එය සාක්ෂාත් කර ගැනීමට බෙහෙවින් අසමත් වීමයි. මන්ද ඒවා ඔවුන් ධනවාදී ‘ආඥාදායකත්වය’ ලෙස හඳුන්වන දෙය අවසන් කිරීමට කිසිසේත්ම මඟ පාදන්නේ නැත.

පරිවර්තනය: ආචාර්ය කල්ප රාජපක්ෂ
මුල් ලිපිය: Replacing capitalism – not with socialism, but with democracy?

