වෙනිසුවෙලාවට එරෙහි අමෙරිකානු ත්‍රස්ත ක්‍රියා වහා නවතනු!

වෙනිසුවෙලාවට එරෙහි අමෙරිකානු ත්‍රස්ත ක්‍රියා වහා නවතනු!
හතරවන ජාත්‍යන්තරයේ ශ්‍රී ලංකා පාර්‍ශවය වන ‘සමාජවාදී ජනතා සංසදය’ (SPF), 2026 ජනවාරි 03 දින එක්සත් ජනපදය (US) විසින් වෙනිසුවෙලාවට එරෙහිව සිදු කළ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් පිළිබඳව ලොව පුරා ප්‍රගතිශීලි ජනතාව සමඟ එක්ව දැඩි කෝපය හා භීතිය ප්‍රකාශකර සිටී.
එක්සත් ජනපද හමුදා විසින් වෙනිසුවෙලානු ජනාධිපති නිකොලාස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ සිලියා ඇඩෙලා ෆ්ලොරෙස් පැහැර ගනිමින්, කරකස් නගරය සහ එය වටා පිහිටි ප්‍රදේශවලට බෝම්බ ප්‍රහාර එල්ල කරමින් සිදු කළ ත්‍රස්ත ක්‍රියාවෙන් නොනැවතී, නිව්යෝක් නගරය වෙත පැහැරගෙන ගොස් බලහත්කාරයෙන් රඳවාගෙන සිටී. අමෙරිකන් හමුදා සිදුකළ සිදුකළ බෝම්බ ප්‍රහාරවලින් පුද්ගලයින් 40 දෙනෙකු පමණ පිරිසක් ජීවිතක්ෂයට පත්කර තිබේ.
මෙම අමෙරිකානු රාජ්‍ය භීෂණ ක්‍රියාමාර්‍ගයන්ට පෙර, මත්ද්‍රව්‍ය වෙළඳාමට එරෙහිව සටන් කිරීම යන නාමයෙන්, කැරිබියන් මුහුද පුරා මාස ගණනක් තිස්සේ එක්සත් ජනපදය විසින් හමුදා මෙහෙයුම් සිදු කර තිබුණි. එහිදී ජාත්‍යන්තර මුහුදු සීමාවන් තුළ බෝට්ටු සිය ගණනක් බෝම්බ ප්‍රහාර එල්ල කරමින්, අවම වශයෙන් පුද්ගලයින් 115 දෙනෙකු ඝාතනය කර ඇත.
2020 දී පළමු ට්‍රම්ප් පාලන සමයේදී, මදුරෝ සහ ෆ්ලොරෙස් ඇතුළු ඔහුගේ සමීපතමයන් මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයන් බවට චෝදනා කරමින්, ඔවුන් “ත්‍රස්තවාදීන්” ලෙස නම් කර, එක්සත් ජනපද නීතිමය හා හමුදා ආයතන මැදිහත් වීම පිළිබඳ කතා බහක් නිර්‍මානය කරන ලදී. මෙය මදුරෝ පාලනය ඉවත් කිරීම සඳහා වූ පූර්‍ව සැලසුම් සකස් කිරීම, තෙල්, බොක්සයිට් සහ ගල් අඟුරු ඇතුළු වෙනිසුවෙලාවේ විශාල ඛනිජ සම්පත් පාලනය කර අමෙරිකන් සමාගම් ලාභ සඳහා යොමු කිරීමටත් සිදුකළ විවෘත වංචාකාරී ක්‍රියාවක් විය.
අප පක්ෂය සාමාජිකත්වය දරන, හතරවන ජාත්‍යන්තරය 2025 නොවැම්බර් 04 දින නිකුත් කළ ප්‍රකාශනයේ මෙසේ සඳහන් කළේය:
“මෙම ප්‍රදේශය තුළ පෙර නොවූ විරූ යුදමය ආක්‍රමණයක් ක්‍රියාත්මක වෙමින් පවතී. නිකොලාස් මදුරෝගේ ආණ්ඩුව පිළිබඳ අපට හෝ අන් අයට ඇති මතවාදී විවේචන—කම්කරු විරෝධී, ජනතා විරෝධී ප්‍රතිපත්ති සහ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියා යන සියල්ල නොසළකා, සමාජවාදීන්, සමාජ ක්‍රියාකාරීන් සහ ප්‍රගතිශීලී සංවිධාන මෙය දැඩි ලෙස හෙළා දැකිය යුතුය.”
වෙනිසුවෙලාව සහ කැරිබියන් මුහුද තුළ එක්සත් ජනපදය විසින් සිදු කරන නග්න ආධිපත්‍යවාදී අපරාධ පිළිබඳව නිහඬව නොසිට, ජාතික ජන බලය (NPP) ආණ්ඩුව සිය ස්ථාවරය වහාම ල වහාෝකයට ප්‍රකාශ කළ යුතු බව සමාජවාදී ජනතා සංසදය (SPF) ඉල්ලා සිටී.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ (UN) සාමාජිකයෙකු ලෙස, ශ්‍රී ලංකා රාජ්‍යය, එක්සත් ජනපදය විසින් සිදු කරන මෙම ත්‍රස්ත ක්‍රියාවන්, වෙනිසුවෙලා ජනතාවගේ භෞමික අඛණ්ඩතාවය, ස්වාධීනත්වය සහ ප්‍රජාතන්ත්‍රික අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් සිදුකරන ත්‍රස්ත ක්‍රියාවන්ට විරුද්ධව, UN ප්‍රඥ්ඥප්ති සහ ජාත්‍යන්තර නීතියේ මූලධර්ම ආරක්ෂා කිරීමට බැඳී සිටින බව ප්‍රකාශකර සිටී.
සිය දේශපාලන මතභේද අත්හිටුවා, එක්සත් ජනපද තානාපති කාර්‍ය්‍යාලය ඉදිරිපිට විරෝධතා ක්‍රියාමාර්‍ගවලට එකමුතුවෙන් එක්වන ලෙස හා කියුබාව ඇතුළු ලතින් ඇමරිකාවේ වෙනත් රටවලට එරෙහිව එක්සත් ජනපදය විසින් සිදු කරන ආක්‍රමණයන්ට එරෙහිවීමට සජීවීව සූදානම්ව සිටිය යුතු බව සමාජවාදී ජනතා සංසදය (SPF) ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රගතිශීලී බලවේගවලින් දැඩිව ඉල්ලා සිටී .
උපාලි ලෙව්ලියද්ද,
වැඩ බලන ලේකම්,
මධ්‍යම කාරක සභාව වෙනුවෙන්
කොළඹ.
2026 ජනවාරි 04.


