ජාත්‍යන්තර පුවත්දේශපාලන සටහන්ප්‍රධාන පුවත්

මම්දානි ධනවාදයේ කළමණාකරුවෙක් මිස විප්ලවවාදියෙකු නොවේ..!

ධනවාදී ක්‍රමය සිය පැවැත්ම තහවුරු කරගැනීම සඳහා ඉඳහිට ”‍වම”‍ දෙසට හැරීම අරුමයක් නොවේ. එය සමාජ සුභසාධනවාදී උපක්‍රමවලින් හෝ ඉතා ජනප්‍රිය රතු පැහැ ගැන්වුණු මැතිවරණ ක්‍රම යනාදී විවිධ ක්‍රමවලින් සිදුවිය හැක.

මාක්ස්වාදීන් ලෙස අප වටහා ගත යුතු බරපතලම දේශපාලන යථාර්ථය නම්, පද්ධතිය අභියෝගයට ලක් කරන බව පෙනෙන චරිත, අවසානයේදී පද්ධතියේම ආරක්ෂක කපාට  බවට පත්වන ආකාරයයි. නිව්යෝක් නගරාධිපති ලෙස තේරී පත් වූ සොහ්රාන් මම්දානි සහ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර ධවල මන්දිරයේදී සිදු වූ හමුව මෙම යථාර්ථය මැනවින් තහවුරු කරන ඓතිහාසික මොහොතකි.

සොහ්රාන් මම්දානි කියන්නේ පසුගිය කාලසීමාවේ ලෝකයේ වැඩිපුරම කතාබහට ලක් වූ තරුණ දේශපාලනඥයායි. ඔහු විශේෂ වන්නේ ඩිමොක්‍රටික් පක්ෂයේ නිව්යෝර්ක් නගරාධිපති අපේක්ෂකත්වය ඔහු දිනා ගැනීමයි. මේ නගරය ලෝකයේ ධනවත්ම නගරය බව කියයි. මේ නගරයේ වෝල් ස්ට්‍රීට් නම් වූ ගෝලීය මූල්‍ය වෙළදපලේ කේන්ද්‍රය පිහිටා ඇත. ඒත් මේ නගරය අතිශය දැවැන්ත පීඩනයකට ජනතාව මුහුණදෙන නගරයකි. එදිනෙදා කෑම් බීම්වල, ගෙවල් කුලීවල, ප්‍රවාහනයේ බර ඒ ජනතාවට ඇත. ඉතින්, මම්දානි කියන්නේ ඒ ප්‍රශ්න විසදන්නට ධනවාදී ක්‍රමය තුළම ’සමාජවාදී- ප්‍රජාතන්ත්‍රවාදී’ විසදුමක් දෙන බව පොරොන්දු වී බලයට ආ නායකයෙකි.

ඇමරිකානු දේශපාලන කරළිය මම්දානිගේ පැමිණීමෙන් උඩු යටිකුරු විය. නිව්යෝර්ක් හිටපු නගරාධිපතිවරයා වූ ඇන්ඩෘ ක්වෝමෝ වෙනුවට ඩිමොක්‍රටික් පාක්ෂිකයන්ගේ ඡන්දයෙන් අපේක්ෂකත්වය ලබා ගත්තේ මම්දානිය. පක්ෂයේ අපේක්ෂකත්වය අහිමි කරගත් පසු ක්වෝමෝ කළේ මම්දානිට එරෙහි ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමය. රිපබ්ලිකන් පාක්ෂිකයන්ද කළේ සිය පක්ෂයේ අපේක්ෂකයා වෙනුවට ක්වෝමෝට සහයෝගය දැක්වීමය.

මැතිවරණයට පෙර මම්දානිව  ”‍කොමියුනිස්ට් පිස්සෙක්”‍ ලෙස ට්‍රම්ප් විසින්ම හඳුන්වා දුන් මම්දානි, මැතිවරණ ජයග්‍රහණයෙන් පසු ඕවල් කාර්යාලයේදී ට්‍රම්ප් සමඟ අතිශය සුහද සාකච්ඡාවක නිරත වීම සුළුකොට තැකිය නොහැක. ට්‍රම්ප් විසින් මම්දානිව හඳුන්වන්නේ ”‍ඉතා තාර්කික පුද්ගලයෙක්”‍  ලෙස ය. දෙදෙනාටම එකම දේවල් අවශ්‍ය බවත් කියයි. මෙහි ඇති දේශපාලන අරුත කුමක්ද?

මෙය ධනවාදයේ දක්ෂිණාංශික ජනප්‍රියවාදය සහ වාමාංශික ජනප්‍රියවාදය එකම ලක්ෂයකදී හමුවීමකි. ට්‍රම්ප් සහ මම්දානි යන දෙදෙනාම තමන්ගේ දේශපාලන පදනම ලෙස යොදාගන්නේ ”‍ජීවන වියදම”‍ සහ ”‍ආර්ථික පීඩනය”‍ යි. මම්දානිගේ ජයග්‍රහණයට පදනම වූයේ කුලී පාලනය සහ බඩු මිල ගැන කළ කතා ය. ට්‍රම්ප් ද බලයට ආවේ එම පීඩනයම තම වාසියට හරවා ගනිමිනි. මේ දෙදෙනාගේ හමුවීම මගින් පෙන්වා දෙන්නේ, පන්ති අරගලය වෙනුවට ”‍ආර්ථික සහන”‍ නමැති පොදු එකඟතාවය මත පද්ධතිය පවත්වාගෙන යාමට පාලක පන්තිය සූදානම් බවයි. විශාල ප්‍රතිවිරෝධයක් තිබිය යුතු තැන, ට්‍රම්ප් විසින් මම්දානිව වැළඳගැනීම හරහා එම ප්‍රතිවිරෝධය දියකර හරිනු ලැබේ.

මම්දානිගේ දේශපාලන මූලයන් ඇත්තේ වීදි සටන් තුළ බව සැබෑය. ඔහු පීඩිත ජනතාව වෙනුවෙන් සටන් කළේය. 2021 දී නිව්යෝක් කුලී රථ රියදුරන්ගේ ණය අර්බුදයට විසඳුම් ඉල්ලා ඔහු දින 15ක උපවාසයක් කළේය. එය පීඩිත පන්තියේ සැබෑ වේදනාව නියෝජනය කළ අවස්ථාවකි. එහෙත් අද වන විට ඔහු නියෝජනය කරන දේශපාලන ව්‍යාපාරය එම සටන්කාමීත්වය මැතිවරණ ජයග්‍රහණ සඳහා වැඩකරන ජනතාව අතරින් මාවතක් තනාගෙන සිටී. එය තක්කඩිකමක්යැයි කීමට හදිස්සි විය යුතු නැත. පෙනෙන ආකාරයට මම්දානි හොඳ මිනිසෙකි. පීඩිත ජනතාවගේ වේදනාව දකින මිනිසෙකි. එහෙත් එය න්‍යායිකව ගත් කළ ප්‍රමාණවත් නොවන බව පැහැදිලිය.

ඔහුගේ කණ්ඩායම වන බහුතරය සඳහා වන ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදීන් විසින් ඉදිරිපත් කරන විසඳුම් බලන්න:

මෙම පොරොන්දු ”‍මාක්ස්වාදී”‍ විසඳුම් නොව, ධනවාදය වඩාත් දරාගත හැකි තත්වයකට පත් කරන ”‍ප්‍රතිසංස්කරණවාදී”‍ විසඳුම් ය. ට්‍රම්ප්ට මම්දානි සමඟ වැඩ කළ හැක්කේ එබැවිනි. මම්දානි ධනවාදයේ අත්තිවාරමට පහර දෙන්නේ නැත. ඔහු කරන්නේ ධනවාදය නිසා ඇතිවූ තුවාලවලට බෙහෙත් දැමීම පමණි.

බර්නි සැන්ඩර්ස් සහ ඇලෙක්සැන්ඩ්‍ර්‍රිියා ඔකාසියෝ-කෝටෙස් මම්දානිගේ ජයග්‍රහණය වෙනුවෙන් පෙනී සිටියහ. සැන්ඩර්ස් මම්දානිව ආරක්ෂා කරමින් කීවේ ”‍ඔහු රැඩිකල් අයෙක් නොවේ, ඔහු කරන්නේ නිවැරදි දෙයයි”‍ යනුවෙනි. මාක්ස්වාදී දෘෂ්ටිකෝණයෙන් මෙය බරපතල ප්‍රකාශයකි. යම් දේශපාලන ව්‍යාපාරයක් ”‍රැඩිකල් නොවන”‍ බවට සහතිකයක් ධනපති ව්‍යුහය තුළ සිටින අයෙකු ලබා දෙන්නේ නම්, එයින් ගම්‍ය වන්නේ එම ව්‍යාපාරය පද්ධතියට අනතුරක් නොවන බවයි. මම්දානි වෙනුවෙන් පෙනී සිටි දැවැන්ත කේබල් නාළිකා, පුවත්පත් සහ වෙබ් අඩවි යනාදී ධනපති මාධ්‍ය දිගින් දිගටම උත්සාහ කළේ මම්දානී මාක්ස්වාදියෙකු නොවන බව පෙන්වීමටයි. කොටින්ම කිවහොත් ඩේලි ෂෝ නම් කොමඩි සෙන්ට්‍රල් නාළිකාවේ වැඩසටහන වෙනුවෙන් ඩේසි ලයිඩික් නම් වූ නිවේදිකාව ඉතිහාසයේ පළමු වරට ඇමෙරිකානු කොමියුනිස්ට් පක්ෂයේ සම්මුඛ සාකච්ඡාවක්ද පළ කරන ලදී. ඒ ඇමෙරිකාවට සිදුව ඇත්තේ කුමක්දැයි විමසීමට නොව, මම්දානි කොමියුනිස්ට්වාදියෙකු නොවේයැයි ප්‍රකාශ කරවාගැනීමටය.

මම්දානි, සැන්ඩර්ස් හෝ ඇලෙක්සැන්ඩ්‍රියා නියෝජනය කරන ප්‍රවාහය ඇමරිකානු ධනවාදයේ අර්බුදය එළියට ගෙනාවද, ඔවුන් උත්සාහ කරන්නේ ඩිමොක්‍රටික් පක්ෂය තුළ හෝ පවතින ව්‍යුහය තුළ විසඳුම් සෙවීමටයි. මෙය ලෙනින්වාදී අර්ථෙයන් ගත් කල, කම්කරු පන්තිය ධනපති පක්ෂයක වලිගයක් බවට පත් කිරීමකි.

සොහ්රාන් මම්දානි යනු ඇමරිකානු ජනතාව (විශේෂයෙන්ම තරුණ හා පීඩිත පන්තිය) ධනවාදයෙන් එහා ලෝකයක් පතන බවට ඇති සාක්ෂියකි. එය ධනාත්මක ප්‍රවණතාවකි. නමුත්, ඔහු ඉදිරිපත් කරන වැඩපිළිවෙළ සහ ඔහු ට්‍රම්ප් වැනි ෆැසිස්ට්වාදී ප්‍රවණතා සහිත නායකයන් සමඟ ඇතිකරගන්නා සම්මුතීන් මගින් සිදුවන්නේ පන්ති අරගලයේ මුවහත් බව නැති වී යාමයි.

ඔහු කෙතරම් ආකර්ෂණීය හොද මිනිසෙකු ලෙස පෙනුණද, අපට ඔහුව ලකුණු කරන්නට සිදු වන්නේ ”‍සමාජවාදී විප්ලවවාදියෙකු”‍ ලෙස නොව, ”‍ධනවාදයේ අර්බුදය කළමනාකරණය කිරීමට පැමිණි වාමාංශික කළමනාකරුවෙකු”‍ ලෙසය. ජනතාවගේ විරෝධය ඡන්ද පෙට්ටිය තුළ සිරකර, ට්‍රම්ප් සමඟ අතට අත දීමෙන් අවසන් වන විප්ලවයකින් ධනවාදය පෙරළා දැමිය නොහැක. සැබෑ විමුක්තිකාමී දේශපාලනය ඇත්තේ මෙම ”‍රාජ්‍ය අනුග්‍රහය ලබන සමාජවාදයෙන්”‍ ඔබ්බට ගොස්, ස්වාධීන කම්කරු පන්තියේ බලයක් ගොඩනැගීම තුළ පමණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *