ධනකුවේරයන් පිනවන අයවැයක්..!
ජාතික ජනබලවේග ආණ්ඩුවේ දෙවන අයවැය ජනතාවගේ අපේක්ෂාවන් තවදුරටත් බංග කළ අයවැයක්. පැය හතර හමාරක කාලයක් අනුර කුමාර මුදල් ඇමතිවරයා පාර්ලිමේන්තුවේ කාලය කාබාසිනියා කරමින් ඉදිරිපත් කළ අයවැය රටේ ආර්ථික සංවර්ධනයට හෝ ජන ජීවිතය නගාසිටුවීම වෙනුවෙන් කිසිදු වටිනාකමක් එකතු කරන්නට අසමත්වූ, රටේ කුණුවී ගිය ධනපති ආණ්ඩු පසුගිය ඉතිහාසය පුරා ඉදිරිපත් කළ සිල්ලර අයවැය හා සමාන බව කිවයුතුය.
ඒ සඳහා වෙනත් සහතික අවශ්‍ය නොවේ. සමගි ජනබවේගයේ ආර්ථික ඔස්තාර් හෙවත් න්‍යායචාර්යවරයා, හර්ෂ ද සිල්වා අනුරගේ අයවැය ගැන ලබාදුන් සහතිකයම ප්‍රමාණවත් වේ. සර්ව ආර්ථිකය පණපිහිටවූ අයවැයක් ලෙස හඳුන්වන්නට ඔහු මැලි නොවීය.
මේ අයවැය අයිඑම්එෆ් කොන්දේසි, මගපෙන්වීම් රනිල් වික්‍රමසිංහටත් වඩා ඉතාම පැහැදිළිව ඉටුකරන බව ආණ්ඩුවට මග පෙන්වන ධනකුවේරයන්ගේ, ඊනියා ආර්ථික විශේෂඥයන්ගේ ස්තෝත්‍ර ගීතිකා වලින් මොනවට පැහැදිළි වේ. වතු කම්කරුවන්ට ලබාදිය යුතු සාධාරණ වැටුපක් ලබාදීමේ බර කොම්පැණිකාරයන්ගෙන් ගලවා ජනතාව මත පැටවීම ධනපති වතු සමාගම් හිමියන්ගේ අමන්දානන්දයට හේතුවී තිබේ. ලංකා වාණිජ මණ්ඩලය කියන විදිහට ඔවුන්ගේ ඉල්ලීම් සියල්ල අනුරගේ අයවැය පිළිගෙන ක්‍රියාමාර්ග තෝරා තිබේ. මේ හැම දෙනාටම අනුව එන්පීපී ආණ්ඩුව, දකුණේ ධනපති දේශපාලන පක්ෂ ඉටුකළ කාර්යයභාරයට වඩා වැඩි කාර්යයභාරයක් ඉටු කරමින් සිටී.
මේ අයවැය දක්ෂිණාංෂික අයවැයක්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මැදිහත්වීමෙන් ඉදිරිපත් කළ අයවැයක්. ආණ්ඩුවේ කප්පාදු ප්‍රතිපත්තිය පනපොවන, බහුතරයක් වූ පීඩිත ජනතාවගේ අභිලාෂයන්ට පස්ස හරවා අතලොස්සක් වූ ධනකුවේරයන්ගේ මනදොල සපුරන අයවැයක්.
මොනවා කථා කළත් එන් පී පී ආණ්ඩුවේ ගමන් මාර්ගය පැහැදිළිය. එනම් මේ ආණ්ඩුව ගමන් කරන්නේ රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව දේශපාලන ආර්ථිකයේ හෙළිපෙහෙළි කරදුන් මාවතේම ය. රටේ ආර්ථික, දේශපාලන ප්‍රශ්ණ, විශේෂයෙන් නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය පිළිබඳව වෙනත් කිසිදු අදහසක් නැත. පාරම්බාන මේ ඇතිවෙනවා යැයි කියන ආර්ථික වර්ධනය අනාගතයේ ගෙවන්නට ඇති දේශීය විදේශීය ණය ගෙවා ගන්නටවත් සමත් වන්නේ නැත.
එන් පී පී ආණ්ඩුවේ මේ ගමන්මගට එරෙහිව ජන බලය පෙරට ගතයුතුය. වැඩබිම, ගොවිබිම ප්‍රමුඛ පීඩිත ජනයා බලගැන්විය යුතුය. ජරාජීර්ණ ව පිරිහී ඇති විපක්ෂයට තවදුරටත් ජනතාවගේ ගැලවුම්කරුවන් වෙන්නට දරන උත්සාහයන් එකටතබා පරාජය කරමු..!

ධර්මසිරි ලංකාපේලි

