NPP ආණ්ඩුව පලවාහැර, කවරෙකුගෙන් ඒ හිඩැස පියවිය හැකි ද?
මා ජාතික බලය -NPP- ආංඩුවේ සතුරෙකැ යි සමහරෙක් සිතති. මේ ආණ්ඩුව පෙරළා දැමීම වෙනුවෙන් මා පෙනී සිටින්නේ යැයිද ඔව්හු සිතති. මෙසේ සිතීමට ඔවුන් මෙහෙයවන හේතුන් ඇතත්, මා අවධාරණය කොට කියන්නේ එය සත්‍යයක් නොවන බවයි. මා ජන අරගල සන්ධානයේ පාක්ෂිකයකු වන හෙයින් ඔවුන් මෙසේ සිතනු ඇත. ඒත් ඒ පක්ෂයේ නායක සහෝදරියෝ සහ සහෝදරවරු කරන ප්‍රකාශ එවැනි අදහසකට ඉඩ නොතබන්නේ යැ යි මම සිතමි.
NPP ආණ්ඩුව වහාම පෙරලා දැමීමක් ගැන මගේ දුරස්ථ හෝ බලාපොරොත්තුවක් නැත්තේ හේතූන් දෙකක් නිසා ය.
පළමුවෙනි හේතුව වන්නේ NPP ආණ්ඩුවට තවමත් බහුතර ජන කැමැත්තක් ඇතැයි මගේ ඇස්තමේන්තුව ය. එහි කිසියම් පහත වැටීමක් ද මම සටහන් කරමි. පහුගිය ආණ්ඩු විසින් කෙරුණ නස්පැත්තියෙහි පමණ නිසාම ආණ්ඩුවට තව පෝය කිහිපයක් දිය යුතු යැයි “ජනතාව” සිතති. සරල කතා බහේදී එම යෙදුමෙහි වරදක් නැතත්, එය මාක්ස් ජනගහනය වැනි පදවල දුටුවාක් මෙන්, වියුක්ත යෙදුමකි. එය විවිධ කඩනයනට සහ පැල්මයන්ට හසු වෙන්නකි.
NPP ආණ්ඩුව සමග සිටින “ජනතාව” කෙතරම් නම් විසමජාතිය දැයි පැට්රල් රුපියල් 10 කින් අඩු කළ දින පෙට්‍රල් ශෙඩ් ළඟ කතා මගින් පෙන්වයි. ජනතාවගේ තීරුකරණය ගැන නොසලකා විශ්ලේෂණ කුලකයක් ලෙස ජනතාව යොදාගත නොහේ.
NPP ආණ්ඩුව පලවාහැර, කවරෙකුගෙන් ඒ හිඩැස පියවිය හැකි ද? යන්න ගැන යථාර්ථවාදී උත්තරයක් නොතිබීම දෙවෙනි හේතුව ය. මේ හේතූන් දෙකම ඒවායේම අභ්‍යන්තර චලිතයට හසුවන්නේය යන්න අපි සිහිපත් කරගත යුතු වෙමු. 2024 චන්ද දෙකකදී ගොනුවුන ජනතාවගේ අභ්‍යන්තර තීරුකරණය හමුවේ සහායක ජනතාවක් ඛණ්ඩනය නොකොට තබා ගත හැකිද?
මෙහිදී, මට කලකට ඉහත ස්පඤ්ඤ විප්ලවය ගැන ලියොන් ට්‍රොට්ස්කි ලියූවක් මගේ මතකයට ඒ. (මා තවමත් 19 වෙනි සියවසේ දී න්‍යාය රාමුවක් ගොඩ නැගූ මාක්ස් අනුව යන මාක්ස්වාදියකු වුවද, එම සියවස අග සහ මේ සියවස මුල තම අදහස් සූත්රගත කළ ට්‍රොට්ස්කි අනුව යන ට්‍රොට්ස්කිවාදියෙකු නොවන බව සටහන් කරමි.) ඒ. 1936 ජූලි 17 ෆ්රැන්කෝ මෙහෙයවූ හමුදා කැරැල්ල 1939 මාර් තු මාසයේ දී කෙළවර වූයේ ෆැසිස්ට් ජයග්රහණයෙනි. 1936 ෆෙබරවාරියේ “ජනතාව” මහජන පෙරමුණු සමූහාණ්ඩුවක් බලයට පත්කර ගත් ආණ්ඩුව මිලිටරිමය වශයෙන් පෙරළා දමමිනි.
1936 ජනතාව පත්කල ආණ්ඩුව පරාජය කළ හැකි වූයේ කෙසේ ද? තවත් යමක් එකතු කළ යුතු වේ. සමූහාණ්ඩු මහජන පෙරමුණ ආණ්ඩුව රැක ගන්නට තම දිවි නොතකා වීරෝදාරව සඨන් වැදුණ කොමියුනිස්ට් සහ වාමාංශික සටන්කාමීන් අපමණ වේ.
එහෙත් ප්රශ්නය තිබුණේ දේශපාලනයේ ය. ස්පාඤ්ඤයේ දිග හැරෙමින් තිබූ සමාජ විප්ලවීය ක්‍රියාවලිය බේරාගන්නට නම්, එකි ක්‍රියාවලීය තවදුරටත් රැඩිකල් කරණයකට ලක් කළ යුතු ය යන්න ට්‍රොට්ස්කිගේ අදහස විය. එවැන්නක් ඇවසි නොවේ යැ යි කොමියුනිස්ට් පක්ෂය සහ ඊට මග පෙන් වූ රුසියානු කොමියුනිස්ට් පක්ෂය සිතූහ. දහස් සංඛ්‍යාත තරුණ සටන් කාමින්ගේ ජීවිත උඩින් ෆ්රැන්කෝ ජයගත්තේ රුසියානු කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන වරද නිසා ය.
ජනතා විමුක්ති පෙරමුණ සහ NPP ආණ්ඩුව හිර වී ඉන්නේ මේ අලකලංචියේ ය. 2022 ජන අරගලයේදී සහ 2024 චන්ද දෙකකදී “ජනතාව” ඉල්ලුවේ පරිපථ වෙනසකි. එහෙත් NPP නායකයින් හිතන බව පෙනෙන්නේ, අඩු ලංසුවෙන් වැඩේ ගොඩ දා ගන්නට ය. 2022, 2024 ආපස්සට ගෙන යන්න ය.බහුමාන රැඩිකල්කරණයක් අවුල් කිරීමක් හැටියට ඔවුන් දකින බවක් පෙනේ.
චිලියේ අත්දැකීම් සැලකිල්ලට ගනිමින්, ඊළඟ සටහනකින් ඉදිරියේ විය හැකි දේ කථා කරමු.