ප්‍රධාන පුවත්

” මේ ආණ්ඩුව රාජ්‍ය බලය ගන්න තවමත් සූදානම් නැහැ ” – ආචාර්‍ය්‍ය කල්ප රාජපක්ෂ

පුද්ගලික පරිහරණය සඳහා වන මෝටර් රථ ඇතුළු වාහන ආනයනය සඳහා පනවා තිබූ තහනම පෙබරවාරි පළමු වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කරමින් මුදල්, සැලසුම් සහ ආර් ථික සංවර්‍ධන අමාත්‍යවරයා හැටියට ජනාධිපති අනුර දිසානායක පසුගිය 27 වැනිදා අතිවිශේෂ ගැසට්‌ නිවේදනයක් නිකුත් කළේය. එහෙත් වාහන ආනයනය සඳහා අවසර ලබාදීම සම්බන්ධයෙන් මේ වන විට සමාජය තුළ ඇත්තේ විවාදාත්මක කතාබහකි. පිරිසක් මෙම තීරණයට එකඟව අදහස් ප්‍රකාශ කරන අතර තවත් පිරිසක් කියා සිටින්නේ ලංකාවේ ආර් ථිකය තවමත් සම්පූර්‍ණයෙන්ම යථා තත්ත්වයට පත් වී නොමැති අවස්ථාවක වාහන ආනයනය කිරීම සඳහා අවසර දීම එතරම් බුද්ධිමත් තීරණයක් නොවන බවයි. මෙම කාරණා පිළිබඳව

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර් ථික විද්‍යා අධ්‍යයන අංශයේ, ජේෂ්ඨ කථිකාචාර්‍ය්‍ය, ආචාර්‍ය්‍ය කල්ප රාජපක්ෂයන් සමග ‘අරුණ’ කළ සාකච්ඡාවයි මේ.

මෙතෙක් කාලයක් වාහන ආනයනය කිරීම සඳහා පනවා තිබූ තහනම පෙබරවාරි පළමු වැනිදා සිට ඉවත් වෙනවා. මේ ගැන ඔබේ අදහස මොකක්ද?

මම ඔබ ඇසූ ප්‍රශ්නයට පිළිතුරු ලබාදීමට වෙනත් ප්‍රවේශයක් ගන්නම්. අපි තවමත් ඉන්නේ ණය අර්‍බුදයක කියලා අපි සියලු දෙනාම දන්නවා. ජත්‍යන්තර මූල්‍ය අරමුදලේ මැදිහත් වීමෙන් අලුත් ණය ගිවිසුමක් අත්සන් කරන්නේ ඒ ණය අර්‍බුදයේ තීරණාත්මක පියවරක් හැටියටයි. නැවත ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර සහ දේශීය වශයෙන් බැඳුම්කර හිමියන්ට අවශ්‍ය බැඳුම්කර ප්‍රමාණය නිකුත් කිරීමයි එතැනදී පේන්න තියෙන්නේ. නමුත් මෙහි යටි තලයේ තවත් කාරණා කිහිපයක්ම තියෙනවා. විශේෂයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අපිට කරලා තියෙන යෝජනා, ඇත්තටම කියනවා නම් ඒවා යෝජනා නෙමෙයි තර්‍ජන කියලා කිව්වත් වරදක් නෑ. ඒ ගැන කතා කළොත් ප්‍රධාන වශයෙන් ආර් ථික ය පරිවර්‍තනය කරන සුලු වෙනස්කම් ඇති කරන්න කියන එක තමයි ඔවුන් මූලිකව අවධාරණය කරන්නේ. එහිදී පනත් කිහිපයක් නීතිගත කරන්න කියලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මුල සිටම කිව්වා. ඒ අනුව මහ බැංකුව ස්වාධීන කිරීමේ පනත දැන් නීතියක් බවට පත්වෙලා තියෙනවා. ඉන් පසුව ආර් ථික පරිවර්තන  පනත සහ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතත් අරගෙන ආවා.

 මම ඔබෙන් ප්‍රශ්න කළේ වාහන ආනයනයට අවසර හිමිවීම සම්බන්ධයෙනුයි. ඒ කාරණාව සහ ඔය කියන පනත් අතර සම්බන්ධයක් තියෙනවද?

වාහන ආනයනය සම්බන්ධ ප්‍රශ්නයට වෙනත් ප්‍රවේශයක් අරගෙන පිළිතුරු දෙන්නම් කියලා මම මුලින්ම කිව්වේ ඒකයි. මෙවැනි පනත් හඳුන්වා දුන්නේ ඇයි කියන කාරණාව තේරුම් ගත්තේ නැත්නම් වාහන ආනයනය සම්බන්ධයෙන් වන කාරණාව අපට තේරුම් ගන්න බැහැ. තියෙන ආදායම් වැඩි කරගෙන වියදම් ප්‍රමාණය කප්පාදු කරගන්න කියලයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාවට ප්‍රධාන වශයෙන්ම කියන්නේ. නවසිය අසූ ගණන්වල සිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාවට ලබා දුන් උපදෙස් පිළිබඳව සලකා බැලුවොත් ඒවා එකට එකක් සම්බන්ධ නොවන, විවාදාත්මක හා එකට එකක් ගැටෙන ස්වරූපයක් තමයි පෙන්නුම් කරන්නේ. උදාහරණයක් හැටියට වාහන ආනයනය පිළිබඳ කාරණාව ගැන කතා කළොත්, ලංකාවේ වර්‍ග ප්‍රමාණය, ජනගහනය සහ මහා මාර්‍ගවල තත්ත්වය සහ ප්‍රමාණය ආදී කාරණා වලට සාපේක්ෂව බැලුවොත් ලංකාවේ තියෙන සමස්ත වාහන ප්‍රමාණය වැඩියි කියලා ආර් ථික අර්‍බුදය ඇති වුණාට පසුව එක් අවස්ථාවකදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කිව්වා. නමුත් දැන් වාහන ආනයනය කරන්න, ආර් ථිකය ඉදිරියට ගෙන යෑමට එය අනිවාර්‍ය්‍ය කාරණාවක් කියලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලම කියනවා. ඇත්තටම මෙවැනි පරස්පර අදහස් ඉදිරිපත් වෙන්නේ ඇයි කියලා අපි ගැඹුරින් කල්පනා කළ යුතුයි. මේ වාහන ආනයන ප්‍රශ්නයට උත්තරය තියෙන්නෙත් ඒ තුළ බව තමයි මගේ නම් අදහස.

ඒ කාරණාව පිළිබඳව තවත් පැහැදිලි කිරීමක් කළොත්?

අනුර දිසානායකගේ ආණ්ඩුව බැලූ බැල්මට ජනතාවාදී ආණ්ඩුවක් ලෙස පෙනුණත් එය ක්‍රියාත්මක වෙන්නේ තවමත් පරණ පුරුදු ව්‍යාපාරික සහ නිලධාරී තන්තරයක් තුළමයි. අනුර දිසානායක ජනාධිපතිවරයා ලෙස පත් වූ වහාම වාණිජ මණ්ඩලය ලියවිල්ලක් නිකුත් කිරීම ඒ සඳහා හොඳම උදාහරණයක්. ඒ ලියවිල්ල තුළ ප්‍රධාන කාරණා දහයක් අන්තර් ගතයි. ඇත්තට ම මේවා ධනේෂ්වර පන්තිය විසින් ජනාධිපතිවරයාට එල්ල කළ තර්‍ජන විදිහටයි අපිට නම් පේන්නේ. කොහොම වුණත් ජාතික ජන බලවේගය බලය ලබා ගැනීම සඳහා අරගෙන ගිය මැතිවරණ ව්‍යාපාරයේ මුල සිටම වාණිජ මණ්ඩලයේ නිලධාරීන් බොහෝ දෙනෙක් හිටියා සහ ඔවුන්ගේ සහයෝගය අනුර දිසානායකට ලැබුණ බව ඉතාම පැහැදිලියි. ඒ නිසා මේ අයගේ වුවමනා එපාකම් ඉෂ්ට කරන්න ජනාධිපතිවරයාට සිද්ධ වෙනවාමයි. විශේෂයෙන්ම ජනාධිපතිවරයාගේ ආර් ථික උපදේශකවරයා හැටියට දුමින්ද හුලංගමුව වගේ පුද්ගලයෙක් පත්වෙනවා. ඔහු තමයි අවශ්‍ය තීන්දු තීරණ ගන්නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සිදු කරන සාකච්ඡා සඳහා වොෂින්ටන් වලට යන්නෙත් ඔහුමයි. ඇත්තටම කිව්වොත් වාණිජ මණ්ඩලය හා බැඳුණු ජාලයටයි ඔහු වග කියන්නේ. එහෙම බැලුවොත් දැන් මේ ආණ්ඩුව ඉෂ්ට කරමින් යන්නේ ඒ ජාලයේ වුවමනා එපාකම් බව කිව්වත් වරදක් නැහැ.

ලංකාව තවමත් ආර් ථික වශයෙන් සම්පූර්‍ණයෙන්ම ශක්තිමත් නොවූ වටපිටාවක වාහන ආනයනය සඳහා අවසර ලබාදීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ කියලා ඇතැම් ආර් ථික විශේෂඥයන් අවධාරණය කරනවා. ඔබත් ඔය කතා කරන්නේ ඒ අදහසට පක්ෂව නේද?

ලංකාවේ සාමාන්‍ය අවුරුද්දකදී එනම් ආර් ථිකයේ විශාල විචලනයක් නැති අවුරුද්දකදී වාහන ආනයනය සඳහා සාමාන්‍යයෙන් ඩොලර් බිලියන එකයි දශම අටක වගේ ප්‍රමාණයක් වැය වෙනවා. තවත් විදිහකට කියනවා නම් සාමාන්‍ය අවුරුද්දකදී වාහන ආනයනය කිරීම සඳහා සාපේක්ෂව ඩොලර් බිලියන දෙකකට ආසන්න ප්‍රමාණයක් වැය කරන්න වෙනවා. මේ වන විට ලංකාවෙ ආර් ථිකය මොන වගේ තැනකද තියෙන්නේ කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. එවැනි තත්ත්වයක් මත වාහන ආනයනය කිරීම සඳහා මේ උදාවෙලා තියෙන්නේ ගැළපෙන මොහොතමද කියන ප්‍රශ්නය අපිට තියෙනවා. ඇත්තට ම මගේ නම් අදහස මේ වාහන ආනයනය සඳහා කිසිසේත්ම යෝග්‍ය අවස්ථාවක් නෙමෙයි. ශ්‍රමය වැය කරන මිනිස්සු ඉතාම අසීරුවෙන් එකතු කළ ඩොලර් බිලියන පහක සංචිතයක් දැන් අපිට තියෙනවා. නමුත් ඒ මුදල් ප්‍රමාණය ඉදිරියේදී භාවිත කරන්නේ කොහොමද යන්නත් ලොකු අභියෝගයක්. වාහන ආනයනය කරන්න දළ වශයෙන් ඩොලර් බිලියන එකයි දශම පහක් යනවා කියලා අපි අනුමාන කරමු. ඒ වගේම වෙනත් ආනයන සඳහාත් මුදල් වෙන් කළ යුතුයි. විශේෂයෙන්ම ණය ගෙවීම ගැන කතා කළොත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම අත්සන් කළ නිසා මේ අවුරුද්ද ඇතුළත ඩොලර් බිලියන හතරකට වැඩි ණය ගෙවීමක් කරන්න තියෙනවා. මේ සියල්ල අතර වාහනත් ආනයනය කළොත් පවතින ඩොලර් සංචිත ප්‍රමාණයට විශාල පීඩනයක් එල්ල වෙනවා. අපි මේ කාරණාව සම්බන්ධයෙන් දිගින් දිගටම අවධාරණය කළා.

ආර් ථිකය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගන්නා නිලධාරීන් සහ ආණ්ඩුව ආර් ථික විශේෂඥයන්ගේ අදහස් වලටවත් ගරු නොකර අත්තනෝමතිකව කටයුතු කරනවා කියලද ඔබ කියන්නේ?

වාහන ආනයනය කළාම ආර් ථිකයට පීඩනයක් එල්ල වෙන්නෙ නෑ කියලා මහ බැංකු අධිපතිවරයාත් මින් පෙර කියලා තියෙනවා. ඒත් එවැනි තෙරපුමක් ඇති වෙනවා කියලා මීට දවස් කිහිපයකට පෙර ඔහුටම පිළිගන්න සිද්ධ වුණා. ඇත්තටම ආනයන වියදම වැඩි වෙද්දී විදේශ සංචිත ප්‍රමාණය පහළ කියන්නේ කොහොමද කියන කාරණාව උගන්වන්නේ මූලික ආර් ථික විද්‍යාවේදීයි. මේ අය දැන් ආර් ථිකය සැලසුම් කරන්නේ මූලික ආර් ථික විද්‍යා සූත්‍රයක්වත් තේරුම් නොගෙනද කියලත් අපිට හිතෙනවා. ඒ නිසා මොන තරම් බදු පැනෙව්වත් මෙමගින් එල්ල වන තෙරපුම විශාල වශයෙන් නැවතත් ආර් ථිකයට බලපෑම් කරන්න නියමිත බවට අපි අනතුරු අඟවනවා. මොකද වාහන ආනයනය කිරීම සඳහා සූදානමින් සිටින පන්තිය සතුව මේ වන විටත් විශාල ධනස්කන්ධයක් තියෙනවා. විශේෂයෙන්ම කොවිඩ් කාලයේ සහ ආර් ථික අර්‍බුදය සමයේ එකතු කරගත් ධනය ඔවුන් සතුයි. ලංකාවේ ආර් ථිකය මොන තරම් කඩාගෙන වැටුණත් ඒ පුද්ගලයන්ගේ ධනය තව තවත් ඉහළ ගියා මිස අඩු වුණේ නෑ. කොහොම වුණත් වාහන ආනයනය කිරීම විදේශ සංචිත මත මොන තරම් පීඩනයක් එල්ල කරනවාද, ගෙවුම් ශේෂ අර්‍බුදයක් ඇති වෙනවාද සහ විනිමය අනුපාතයට මේ තත්ත්වය බලපාන්නේ කොහොමද කියන කාරණා සම්බන්ධයෙන් ආර් ථිකය පිළිබඳ තීන්දු තීරණ ගන්නා පිරිස මීට වඩා කල්පනා කළ යුතුයි කියලා මම යෝජනා කරනවා. මේ තත්ත්වය පාලනය කරන්න මහ බැංකුව මැදිහත් වෙන්නේ කොහොමද කියන ප්‍රශ්නයත් අපිට තියෙනවා. අනෙක් කාරණය අපි මේ රටට ආනයනය කරන අනෙකුත් භාණ්ඩ මතටත් මේ පීඩනය එල්ල නොවී තියෙයි කියලා කියන්න බැහැ.

ණය ගෙවීම ආරම්භ කළාම ඩොලර් ප්‍රශ්නය තවදුරටත් උග්‍ර වෙනවා. එවැනි වටපිටාවක ඩොලර් උත්පාදනය කිරීම සඳහා වර්‍තමාන ආණ්ඩුවට වැඩ පිළිවෙළක් තිබෙන බවක් පේනවද?

 අපි ඇතුල් වෙලා තියෙන්නේ නව ලිබරල් ආර් ථික ප්‍රතිපත්තිවල අලුත්ම කලාපයකටයි කියලා මට හිතෙනවා. මින් පෙර නව ලිබරල් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න උත්සාහ කළේ කිසිම සුජාත භාවයක් නැති ආණ්ඩුනේ. නමුත් දැන් පත්වෙලා තියෙන ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ඉතාමත් සුජාතයි. ඔවුන්ට විශාල ජනතා මනාපයක් තියෙනවා. අවාසනාවට දෛවෝපගත ලෙස අන්ත නව ලිබරල් වැඩපිළිවෙළක අලුත්ම නියෝජිතයා බවට අනුර දිසානායක පත්වෙලා. ඔහු මීට අවුරුදු පහකට කලින් කළ කතා ගැන ටිකක් හිතලා බලන්නකෝ. එදා විවේචනය කළ දේවල්ම අද ක්‍රියාත්මක කරන්නත් ඔහුට සිද්ධ වෙලා තියෙනවා. ආර් ථික පරිවර්‍තන පනත සංශෝධන සහිතව ක්‍රියාත්මක කරනවා කියලාත් ජනාධිපතිවරයා දැන් කියනවා. ඒ පනත තරම් නව ලිබරල්වාදය ගැඹුරින්ම ක්‍රියාත්මක කරන වෙනත් පනතක් ලංකාවේ නැහැ. ඒ නිසා මේ ආණ්ඩුවේ ආයෝජන ඉපැයීමේ වැඩපිළිවෙළ බවට පත්වෙන්නේත් රනිල් වික්‍රමසිංහලා ක්‍රියාත්මක කරන්න උත්සාහ කළ ඊටත් වඩා වැඩි දියුණු වූ නව ලිබරල් ප්‍රතිපත්තියමයි.

තමන්ගේ ආණ්ඩුවක් යටතේ ජනතාවාදී ආණ්ඩුවක් ගොඩනගනවා කියලා ජාතික ජන බලවේගය මැතිවරණයට පෙර නිතරම කිව්වා. ඒත් ජනතාවට හිතකර ආකාරයට ආර් ථිකයවත් හසුරවාගන්න මේ ආණ්ඩුවට හැකියාවක් ලැබිලා නැද්ද?

 ජාතික ජන බලවේගය දිගින් දිගටම කියූ ජනතාවාදී ආණ්ඩුව ගොඩ නැගීමට නම් ආර් ථික බලය හසුරවන පන්තිය සෙලවිය යුතුමයි. එහෙම නැතිව ඔය කියන ජනතාවාදී ආණ්ඩුව ගොඩනැගීමට යාම විහිළුවක් විතරයි. ජාතික ජන බලවේගයේ විග්‍රහයට අනුව දැන් ලංකාවේ මිනිසුන්ගේ ප්‍රශ්නවලට වගකිය යුත්තේ රිළවුන් හා ගෙදර ඇති කරන සුරතල් සතුනුයි. පහුගිය දවස්වල ඇතැම් නිලධාරීන්ගේ ප්‍රකාශ හාස්‍යයට පවා ලක්වුණා. මේ අය දේශපාලනික වශයෙන් තවත් දුර ගමනක් යන්න සුදානම් නැහැ කියන එකයි මේ ප්‍රකාශ වලින් පෙන්නුම් කරන්නේ. ඇත්තටම සමාජ පරිවර්‍තනයක් කරනවා නම් සහ කියූ ආකාරයට පුනරුදයක් ඇති කරනවා නම් කළ යුතුව තියෙන්නේ අවුරුදු ගණනාවක් තිස්සේ ධනපති පන්තිය විසින් මිනිසුන් මතට එල්ල කළ පන්ති ප්‍රහාරය නවතා දැමීමයි. ඒ දේවල් කරන්න ආණ්ඩුවට ජනතාව ලොකු ආශිර්‍වාදයක් දීලා තියෙනවා. ඒත් ජාතික ජන බලවේගය ආණ්ඩු බලය ගත්තට ඔවුන්ට රාජ්‍ය බලය ගන්න තවමත් හැකියාවක් ලැබිලා නැහැ. තවමත් බලය හසුරවන්නේ කලින් සිටි පන්තියමයි. ඒ නිසා ආර් ථිකය ජනතාවාදී කරන්න නම් මේ ආණ්ඩුව මුලින්ම කළ යුතුව තියෙන්නේ රාජ්‍ය බලය ලබා ගැනීමයි. ඔවුන් තවමත් ඒ දේ කරන්න සුදානමක් ඇති බවක්වත් පේන්නේ නෑ.

සංවාදය – නිරෝෂා වාසල 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *