”ඔලු තුනේ බූරුවෝ” නූතන රංගනය
ලංකා දේශපාලන කතිකාවේ මා අසා ඇති පරිදි ඔලු තුනේ බූරුවන් ගැන සඳහන් වන්නේ 1948 පාර් ලිමේන්තු මැතිවරණයෙන් පසුව ආණ්ඩුවක් පිහිටුවීමේ ගණුදෙනුව පිළිබඳ සාකච්ඡාවේ දී ය. එම මැතිවරණය තනියම ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය ආසන ප්‍රමාණයක් එකදු පක්ෂයකටවත් ලබා දුන්නේ නැත. වැඩි ආසන ගණනක් හිමිවුනේ ඩී එස් සේනානායක නායකත්වය දුන් එක්සත් ජාතික පක්ෂයට ය.
මට ඉලක්කම් ගැන හරි මතකයක් නැත. එකල පාර් ලිමේන්තුවේ මුලු ආසන ප්‍රමාණය 101 කි. චන්දයෙන් පත්වන්නෝ 95 කි. හය දෙනෙකු ආණ්ඩුකාරයා විසින් පත් කෙරේ. ඒ අනුව බහුතර ආණ්ඩුවක් පිහිටුවීමට අඩු තරමේ චන්දයෙන් පත් වූ මන්ත්‍රීවරුන් 45 ක් වත් සිටිය යුතු වේ. ඒ පත් කළ මන්ත්‍රීවරුන් 6 දෙන හැමවිටම ආණ්ඩුව සමග චන්දය දෙනු ඇතැයි යන උපගමනය මත පිහිටමිනි. ඒ ආණ්ඩුකාරවරයා හැමවිටම වෙස්ට් මිනිස්ටර් සම්ප්‍රදාය අනුව යමින් අගමැතිවරයාට රිසි පරිදි ක්‍රියා කරනු ඇත යන උපගමනය මත පිහිටා ය.
එක්සත් ජාතික පක්ෂයට ලැබුනේ 45 කට අඩු ආසන ගණනකි. විජිත බලයෙන් නිදහස ලැබූ බොහෝ රටවල නිදහස වෙනුවෙන් සටන් වැදි පක්ෂය හෝ නායකත්වය පළමු මැතිවරණයෙන් විශිෂ්ඨ ජයක් ලබා ගැන්මට සමත් විය. එහෙත් මෙරටට නිදහස ලබා දීමේ ගෞරවය එක්සත් ජාතික පක්ෂයට හිමිවිය යුතු යැයි මෙරට ජනතාව නොසිතූහ. ඩී එස් සේනානායක ”ජාතියේ පියා” වූයේ ඉන් පසුව ය.
මැතිවරණයෙන් විශාල ආසන ගණනාවක් දිනා ගැන්මට ස්වාධීන අපේක්ෂකයෝ සමත් වූහ. අගමැතිකම බාර ගන්නැයි සමහරෙක් කුරුණෑගල මන්ත්‍රී ශ්‍රී නිශ්ශංකගෙන් ඉල්ලා සිටියහ. ශ්‍රී නිශ්ශංක යෝජනා කළේ අගමැති තනතුරට ලංකා සමසමාජ පක්ෂයේ නායකයෙකු වූ ආචාර්‍ය්‍ය එන් එම් පෙරේරා කැමතිකර ගන්නා ලෙස ය.
ලංකා සමසමාජ පක්ෂයට ආණ්ඩුවක් පිහිටුවන්නට නම් ස්වාධීන මන්ත්‍රීවරුන් සැලකිය යුතු පිරිසකගේ සහාය අවශ්‍ය විය. එවන් සහායක් මූලධර්‍ම විරෝධී වේ. ඒ ස්වාධීන මන්ත්‍රීවරුන් ”ඔලු තුනේ බූරුවන්” වන නිසාය. ස්වාධීන මන්ත්‍රීවරුන්ට මේ නම පට බැන්දේ ආචාර්‍ය්‍ය කොල්වින් ආර් ද සිල්වා ය. එවන් මූලධර්‍ම විරෝධී ආණ්ඩුවක් මහජන පෙරමුණක් ලෙසයි හේ නම් කළේ.
මට මේ කථාව මතකයට ගෙනාවේ බාන්ගත කෙරුන ඔලු තුනේ බූරුවන් මේ ජනපතිවරණ අවධියේ දේශපාලන කරලියේ මතුවෙමින් එන සන්දර්භයක් තුළ ය. අද ප්‍රධාන නලුවෝ තිදෙනෙකි. ඒ ජාතික ජන බලයේ අනුර කුමාර දිසානායක, සමගි ජන බලවේගයේ සජිත් ප්‍රේමදාස සහ එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ ය. ලඟ එන මැතිවරණ වලදී ආණ්ඩු බලය වෙනුවෙන් සටන් වදින්නේ මේ තිදෙන සහ ඔවුන් නියෝජනය කරන පක්ෂ පමණි.
අනෙක් ඛාණ්ඩ බොහොමයක් 2019 දී පොහොට්ටුව සමග ළබැදි සහ එයින් කැඩීගිය කොටස් ය. මහින්ද රාජපක්ෂ කොපමණ වෙර දැරුවද ඔහු අද බල වේගයක් නොවේ. විසිර යාමෙන් ඉතිරිව ඇති පොහොට්ටුවේ අද ඇත්ත නායකත්වය හිමි රනිල් වික්‍රමසිංහට ය.
බැසිල් රාජපක්ෂ ගේ ගණන් බැලීමට අනුව රනිල් වික්‍රමසිංහ ජනපතිවරණයෙන් පරාජය වුවොත් (ඊට ඇති සම්භාවතාවය වැඩි ය) ඉන් පසු පැවැත්වෙන පාර් ලිමේන්තු මැතිවරණයකදී පොහොට්ටුවට ලැබෙන්නේ ආසන පහකි. පොහොට්ටුව පාර් ලිමේන්තු මැතිවරණයක් කලින් ඉල්ලන්නේ එහෙයිනි.
පොහොට්ටුවෙන් බිඳීගිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොටස්, උත්තර සභාගය, ලංසා කණ්ඩායම සහ සුසිල් ප්‍රේමජයන්ත-අනුර ප්‍රියදර්ශන කණ්ඩායම අද ගනුදෙනු කරන්නේ බාන්ගතකළ ඔලුතුනේ බූරුවන් ලෙස ය. රනිල් මේ වනවිට දිනාගෙන ඇති පොහොට්ටු නඩය හැරුණ විට ඉතිරි පොහොට්ටුව (මහින්ද රාජපක්ෂ පොහොට්ටුව) ක්‍රියා කරනු ඇත්තේ බාන්ගත කළ ඔලු තුනේ බූරුවන් ලෙස ය.
1948 ස්වාධීන මන්ත්‍රීවරුනට වඩා බාන්ගත කළ ඔලු තුනේ බූරුවන් කරුණු දෙකකින් වෙනස් වේ. ස්වාධීන මන්ත්‍රීවරුන් මෙන් තනිව නොව මොව්හු කාණ්ඩයක් ලෙස ක්‍රියා කරති. දෙවනි වෙනස නම් මොවුන් ආණ්ඩු බලය නොව වරදාන ලබා ගැන්මට අවශ්‍ය බලය සදහා පොර බදින්නන් වීම ය. ඒ නිසා බාන්ගත වීම අනිවාර්ය වේ.
මෙම ඔලු තුනේ බූරුවන් ආකර්ශනය වන්නේ එක්කෝ සජිත් ප්‍රේමදාස වෙතටය. නැත්නම් රනිල් වික්‍රමසිංහ වෙතට ය. අනුර කුමාර දිසානායක සහ ජාතික ජන බලය ඔවුන්ගේ ආකර්‍ශණ නාභිය නොවේ. එයට හේතුවක් වන්නේ ඔවුන්ගේ අරමුණවන වාසි දේශපාලනයට එහි ඉඩක් නොමැතිකම ය.
කෙසේ වුවද මේ බාන්ගත ඔලු තුනේ බූරු කණ්ඩායම් ඇස්තමේන්තු වරදක් කරති. එනම්, පොහොට්ටුවට චන්දය දුන් පහළ මාලයේ බහුතරය රනිල් වික්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂයට ඇදගෙන යාමට හැකි යැයි සිතීම ය. රාජපක්ෂ සහ රනිල් කොළඹ පෙරමුණු ගැසුවද, ගම් වල පොහොට්ටුකාරයන් ඉන්නේ තම ප්‍රතිමල්ලවයා එක්සත් ජාතික පක්ෂය ලෙස සලකමිනි.
බාන්ගත ඔලු තුනේ බූරුවන් ගේ දෙවන රංගනය පෙන්වන්නේ මෙරට සම්ප්‍රදායික දේශපාලනයේ අවසානය ය. එය වඳවී යන සත්ව කොටසක් බව ය. ජනපතිවරණය මූලික ගැටුමක් පෙන්වයි.
ඒ රනිල් ඉදිරිපත් කරන ප්‍රාථමික ෆැසිස්ට්වාදය ද? සජිත් ඉදිරියට ගෙනයන සම්ප්‍රදායික දේශපාලනය ද? ජාතික ජන බලය ගෙන එන රෝස කෝඩය ද? විසඳුමක් නොපෙනෙන පැනය එලෙස සටහන් කළ හැකි වේ.
සුමනසිරි ලියනගේ විසිනි