නවතම පුවත්

ශ්‍රී ලංකා රජය, ඊශ්‍රායලයට ‘කම්කරුවන් අපනයනය’ කිරීම නවතනු! – එක්සත් කම්කරු සම්මේලනය

ශ්‍රී ලංකා රජය විසින් ඊශ්‍රායලයේ කෘෂි කාර් මික, ඉදිකිරීම් හා රැකබලා ගැනීමේ ක්ෂේත්‍ර වෙත කම්කරුවන් යොමු කිරීම සඳහා ඇතිකරගෙන තිබෙන ගිවිසුම් අවලංගු කරන ලෙස එක්සත් කම්කරු සම්මේලනය නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටී.

එක්සත් කම්කරු සම්මේලනය නිකුත් කළ සම්පූර්‍ණ නිවේදනය පහත පළවේ.

“ඊශ්‍රායලයේ කෘෂිකාර් මික, ඉදිකිරීම් සහ රැක බලාගැනීමේ ක්ෂේත්‍ර සඳහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 10000කට වැඩි ප්‍රමාණයක් යැවීමට ශ්‍රී ලංකා රජය ඊශ්‍රායලය සමඟ අත්සන් කර ඇති ගිවිසුම් එක්සත් කම්කරු සම්මේලනය දැඩි ලෙස හෙළා දකී. මෙම ගිවිසුම් හරහා අවදානමට ලක්විය හැකි ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සූරාකෑමට ලක්වන අතර ඔවුන් අනාරක්ෂිත සහ ජීවිත තර්‍ජනයක් වන සේවා කොන්දේසිවලට නිරාවරණය කරනු ලබයි.

දශක ගණනාවක් පුරා ඊශ්‍රායල් වාඩිලා ගැනීම නිසා පලස්තීන ආර් ථිකය විනාශ වී ඇත. දැඩි දරිද්‍රතාවය සහ විරැකියාව නිසා බොහෝ පලස්තීනුවන්ට ඊශ්‍රායලය මත යැපීමට සිදු ව ඇත. ඊශ්‍රායලයේ වර්‍තමාන ආක්‍රමණයට පෙර දළ වශයෙන් 130,000 ක් පමණ පලස්තීනුවන් සේවයේ යෙදී සිටි අතර, එහි ඉදිකිරීම් ශ්‍රම බළකායෙන් 65% ක් සහ කෘෂිකාර් මික අංශයෙන් 25%ක් පමණ පලස්තීනුවන් වේ. පලස්තීනුවන්ට එරෙහි ප්‍රහාරයන් ආරම්භ කිරීමත් සමඟම ඊශ්‍රායලය එහි සේවය කළ ගාසා තීරයේ සිටි දහස් ගණන් පලස්තීනුවන්ගේ රැකියා බලපත්‍ර අවලංගු කර නැවත ගාසා තීරයට පිටුවහල් කරන ලදී.

ඔක්තෝම්බර් 7 වන දින ෂෙල් වෙඩි ප්‍රහාර සහ ගොඩබිම් වෙඩි තැබීම් ආරම්භයේ සිට, මේ දක්වා පලස්තීනුවන් 34000 කට වඩා මරා දමා ඇත. ඔවුන්ගෙන් 70% කට වැඩි පිරිසක් කාන්තාවන් සහ ළමුන් වන අතර 76000 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇත.

මිලියන 1.8 ක් වූ ගාසා තීරයේ ජනගහනයෙන් 85% ක් අවතැන් වී ඇත. ඊශ්‍රායලය විසින් ගාසා තීරයට විදුලිය, ජලය, ඖෂධ සහ ආහාර සැපයුම් කපා හරිමින් දරුණු මානුෂීය අර්‍බුදයක් නිර්‍මාණය කර ඇති අතර එය දැන් දරුණු සාගතයක් දක්වා උග්‍ර වී තිබේ. ජාත්‍යන්තර අධිකරණය සහ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය නොතකා හැරීම ඇතුළු ජාත්‍යන්තර නීති අමු අමුවේ උල්ලංඝනය කරමින් ඊශ්‍රායලය සිය ම්ලේච්ඡ ඝාතන දිගටම සිදු කරමින් සිටී.

ඊශ්‍රායලය විසින් පලස්තීන ජනතාවට එරෙහිව ජන සංහාරයක් සිදු කරමින් සිටී. ශ්‍රී ලංකා රජය ඊශ්‍රායලය සමඟ මෙම ගිවිසුම අත්සන් කිරීමෙන් ඊශ්‍රායලයේ කුරිරු ආක්‍රමණයට විරුද්ධ බහුතර රටවල් සමඟ ඇති සබදතා බිඳ දමන අතර පලස්තීනුවන්ගේ ජීවිත බේරා ගැනීමට සටන් විරාමයක් ඇති කරන ලෙස ඊශ්‍රායලයට කරන ජාත්‍යන්තර පීඩනය දියාරු කරනු ලබයි. හයිෆා සහ ඊශ්‍රායලයේ උතුරු දිස්ත්‍රික්කය සඳහා නව කොන්සල් කාර්යාලයක් විවෘත කිරීම, රතු මුහුදේ මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකාවේ හාස්‍ය ජනක සහභාගීත්වය සහ කොළඹ සහ ටෙල් අවිව් අතර සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීම ඇතුළුව, මෙම සේවක ගනුදෙනු ශ්‍රී ලංකා ආණ්ඩුව, මිනීමරු ඊශ්‍රායල සහකරු සමඟ ඇති සබඳතා පුළුල් කිරීමට අවස්ථාවක් කරගැනීමක් බව එක්සත් කම්කරු සම්මේලනය පවසා සිටී.

ශ්‍රී ලංකාව සිය කම්කරුවන් ඊශ්‍රායලයට “අපනයනය” කිරීමට එකඟ වී තිබීම පෙන්නුම් කරන්නේ, ඔවුන්ගේ ජීවිත අවදානම කුමක් වුවත්, කම්කරුවන් වෙළඳ භාණ්ඩ ලෙස ඔවුන්ව සලකන අමානුෂික ආකාරයයි. රටේ පවතින ආර් ථික අර්‍බුදය විසඳා ගැනීම සඳහා ශ්‍රී ලාංකිකයන්ට අර්‍ථවත් රැකියා අවස්ථා ලබා දීම වෙනුවට ශ්‍රී ලංකාණ්ඩුව කැමැත්තක් දක්වන්නේ ජනඝාතක රාජ්‍යයක් ශක්තිමත් කිරීමට බව මෙවැනි ගිවිසුම් සනාථ කරනු ලබයි.

මෙම ගිවිසුම් හරහා පලස්තීනුවන්ට එරෙහිව ඊශ්‍රායලය සිදුකරඅමින් පවතින ජන සංහාරයට ශ්‍රී ලංකාව අනියම් සම්බන්ධ වීමෙන් සමස්ත කලාපයේම ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට අහිතකර බලපෑම් ඇති කරනු ඇත. ඊශ්‍රායල ආණ්ඩුව තවදුරටත් තම මිලිටරි ආක්‍රමණ ලෙබනනයේ, සිරියාවේ සහ ඉරානය දක්වා පුළුල්  කරමින් සිටී.

ඉරානය සහ ඊශ්‍රායලය අතර මෑතකදී ඇති වූ ආතතීන් පුපුරා පූර්‍ණ කලාපීය ගැටුමක් දක්වා උත්සන්න වීමේ සම්භාවිතාව දිනෙන් දින වැඩි වෙමින් තිබේ. එබැවින් මෙවැනි ගිවිසුම් මගින් ඊශ්‍රායලයේ පමණක් නොව පුළුල් කලාපයේම ශ්‍රී ලාංකික කම්කරුවන්ගේ ජීවිත විශාල ලෙස අනතුරේ හෙළයනු ඇත.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර විසින් ඊශ්‍රායලයේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව පිළිබඳ සහතික කිරීම් හිස් ප්‍රලාප ඔහුගේ ඊශ්‍රායල සගයන්ගේ ස්වයං විශ්වාසය මත පදනම් වන බව පැහැදිළිය.

ශ්‍රී ලංකාවේ මුළු මහත් වෘත්තීය සමිති ව්‍යාපාරය පලස්තීන කම්කරුවන්ට සහයෝගය ප්‍රකාශ කර සිටින අතර මෙම විනාශකාරී ගිවිසුම් ප්‍රතික්ෂේපකර සිටී. ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් අපනයනය කිරීමට ඊශ්‍රායලය සමඟ ශ්‍රී ලංකාව ඇතිකරගෙන ඇති ගිවිසුම් වහා අවලංගු කරන ලෙසත් පලස්තීනුවන්ට එරෙහි ඊශ්‍රායල ආක්‍රමණ වහා නතර කරන ලෙසටත්, පලස්තීනයට තම දේශය මත ඇති නීත්‍යානුකූල ස්වෛරීභාවය පිළිගන්නා ලෙස එක්සත් කම්කරු සම්මේලනයේ නිවේදනය මගින් ඉල්ලා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *