ජූලි මාසය සනිටුහන් කරන, ලාංකේය දේශපාලනයේ සුලිකුණාටු!
ජූලි මාසය ලාංකේය දේශපාලනයේ සුවිශේෂී අවස්ථා සනිටුහන් වූ මාසයකි. ’80 ජූලි වර්ජනය, ’83 කළු ජූලිය, 2022 වසරේ ජූලි ජනඅරගලය යන සිදුවීම් මේ අතර ප්‍රධාන වේ. මේ පැන නැගීම්වල විවිධ වෙනස්කම් පැවතිය ද, ආණ්ඩු විසින් ජනතාව වෙත එල්ල කරන ලද පීඩාකාරිත්වය මෙම තත්ත්වයන් නිර්‍මාණය කිරීමට හේතු විය.
2022 ජනඅරගලය
මින් වඩාත් කැපී පෙනෙන සිදුවීම වන්නේ 2022 ජූලි මස ජනතාවගේ අරගලකාරී ක්‍රියාකාරිත්වයෙන් මෙරට විධායක ජනපතිවරයා පලවා හැරීමයි. විශේෂිත අවස්ථා කීපයකදීත්, ධුරයේ කාල සීමාව ඉකුත් වීමත් හැර ව්‍යවස්ථානුකූලව ඉවත් කිරීමට නොහැකි විධායක ජනාධිපතිවරයා ජනතාව විසින් පලවා හරින ලදි. මෙලෙස ධුරයෙන් පහකරන ලද්දේ හැට නව ලක්ෂයකට අධික ඡන්ද බලයක් තිබූ ගෝඨාභය රාජපක්ෂ ජනපතිවරයා ය.
මෙම ක්‍රියාකාරිත්වය සංවිධානගතවූ මෙහෙයවීමක් හෝ නායකත්වයක් නොමැතිව ජනතාව අතරින් ස්වාධීනව පැනනැගීමක් වීම විශේෂත්වයකි. මෙම වකවානුවේ පැවති ජනතාවට දරාගත නොහැකි ඉහ වහා ගිය පීඩාකාරිත්වය මීට හේතු විය. නමුත් ජනපතිවරයා පලවා හැරීමෙන් පසුව, පැවති ව්‍යවස්ථාදායකයේ බලය බිඳ දැමීමට නොහැකි වූ අතර කුමන්ත්‍රණකාරී ප්‍රවේශයකින් නැවතත් එම ව්‍යූහය හා සමාන බලයක් ගොඩනැගීමට පාලකයෝ සමත් වූහ. මෙය ව්‍යවස්ථාවේ ඇති හිඩැසකින් රිංගා යාමක් ලෙස ද ඇතැම් දේශපාලන නිරීක්ෂකයෝ පෙන්වා දෙති.
සමස්ත සන්දර්‍භයේ පැහැදිලි ක්‍රම වෙනසක් ඇතිකර ගැනීමට අරගලකාරීව නැගී සිටි ජනතාව අසමත් වුවද, අරගලකාරී ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් දේශපාලනයේ ජීවමාන අත්දැකීම් රැසක් මෙරට ජන සමාජයට කාන්දුවීම සැළකිය යුත්තකි.
’83 කළු ජූලිය
’83 කළු ජූලිය එම නම් කිරීමට අනුවම ලාංකේය දේශපාලන ඉතිහාසයේ කළු පැල්ලමකි. එය ලෝක ජනතාවගේ අවධානය යොමු වූ අපකීර් තිමත්ම සිදුවීමක් ලෙස සැළකේ. මෙවැනි ම්ලේච්ඡත්වයක් නිර්‍මාණය වීමට හේතුවූයේ ද පීඩාවට පත් ජාතියකගේ ගැටලුවලට විසඳුමක් නොදී මර්ධනකාරී ක්‍රියාන්විතයක් පාලකයන් ඉදිරියට ගෙන යාම නිසාය.
බොහෝ විචාරකයින් දක්වන අන්දමට ’83 ව්‍යසනය වැළැක්වීමට ජේ.ආර්.ජයවර්ධන පාලනයට හැකියාවක් තිබුණි. නමුත් උවමනාවෙන් ම එය අත්හැර දැමුවේය. ඔවුන් දක්වන අන්දමට මෙම විනාශය සිදුවීමට මූලිකම හේතුව වූයේ මියගිය හමුදා භටයින්ගේ සිරුරු කොළඹ නගරයේ එකම ස්ථානයකට ගෙනවිත් ඥාතීන්ට භාරදීමට කටයුතු කිරීමයි. එම මෘත ශරීර වෙන වෙනම අදාල ප්‍රදේශවල නිවෙස්වලට භාර දීමට තිබුණි. නමුත් යටි අරමුණක් ඇතිව රජය විසින් මෙම ක්‍රියාමාර්‍ගය ගත් බවට විවේචන පැන නැගුණි.
මෘත ශරීර භාර ගැනීමට ඥාතීන් කටයුතු කළ අතර තවත් පිරිසක් ඩීන්ස් පාර දෙසින් ප්‍රචණ්ඩකාරී ක්‍රියා ආරම්භ කර ඇත්තේ සංවිධානාත්මකවය. ඒ අනුව මෙහි සැළසුම් සහගත ස්වරූපයක් තිබී ඇත. දිගින් දිගටම ඇවිලී ගිය ප්‍රචණ්ඩ ක්‍රියා මැඩලීමට ජයවර්‍ධන ආණ්ඩුව වහාම ක්‍රියාත්මක නොවීම ගැන ද විවේචන එල්ල විය. මෙහි ඛේදනීයම සිද්ධිය වූයේ වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි දේශපාලන රැඳවියන් පනස් දෙනෙකු පමණ සහාසික ලෙස ඝාතනය කිරීම වළක්වා ගැනීමට ආණ්ඩුව අපොහොසත් වීමයි. මෙම සිදුවීම්වලින් 3000 කට අධික අහිංසක ද්‍රවිඩ ජනතාව අනුකම්පා විරහිතව මරා දමන ලද අතර 140’000 කට අධික දෙමළ ජනතාව අවතැන් වූහ. මෙම සිදුවීම්වලින් ජයවර්‍ධන රජය ජාත්‍යන්තරයේ පිළිකුලට ලක් විය.
80 ජූලි වර්‍ජනය
මෙරට කම්කරු පංති සටන් ඉතිහාසයේ දැවැන්තම වැඩකරන ජනතා නැගී සිටීම සිදු වූයේ ද ජූලි මාසයකදීය. 80 ජූලි වර්‍ජනය නමින් හඳුන්වන මෙම කම්කරු නැගී සිටීම මුලුමනින්ම පීඩාකාරිත්වයට මුහුණ දුන් වැඩ කරන ජනතාවගේ ආර් ථික ඉල්ලීම් පදනම් කරගෙන මතු වූවකි. නමුත් මෙය තියුණු මුහුණුවරක් ගත්තේ රාජ්‍ය මර්‍ධනීය ප්‍රවාහයකට දැක්වූ ප්‍රතිචාරයක් වශයෙනි. ලේක්හවුස් වට රවුමේ සංවිධානය කර තිබූ විරෝධයකට සහභාගීව සිටි ඩී.සෝමපාල නමැති කම්කරු සහෝදරයා එක්සත් ජාතික පක්ෂ පාලනයේ මැරයන්ගේ ප්‍රහාරයකින් මරණයට පත්වීම ඊට පසුබිම නිර්‍මාණය කළේය.
මෙම වර්‍ජනය බිඳ දැමීමට රජය ගත් ක්‍රියා මාර්‍ගය ලෝකය පිළිගත් සදාචාරාත්මක ක්‍රමවේදයන්ට ප්‍රතිවිරුද්ධ වූවකි. අනුකම්පා විරහිත වූවකි. මෙමගින් මෙරට සමාජයට මුදාහරින ලද කටුක අත්දැකීම් සමුදාය දීර්ඝ කාලීනව බලපෑවේය. වසර 44 ක් ගත වුවද එහි අමිහිරි අත්දැකීම් සිඳී ගියේ නැත. පරාජිත ස්වභාවයකින් මෙම අරගලය බිඳ වැටී ගිය ද සංවිධානය වූ මෙරට කම්කරු පංතිය ශක්තිමත් පාලනයකට එරෙහිව නැගී සිටියේය. ජේ.ආර්. ජයවර්‍ධනගේ විධායක ජනපති බලය හා 5/6 ක පාර් ලිමේන්තු බලය ඇති ආණ්ඩුව සලිත කිරීමට තරම් මෙරට කම්කරු පංතිය සටන්කාමී වීම ප්‍රබල අත්දැකීමකි.
ජූලි මස අවසාන සතිය වන විට එම රජයේ අග්‍රාමාත්‍යවරයා වූ ආර්.ප්‍රේමදාස ප්‍රකාශ කළේ සියලුම වර්‍ජකයින් සේවය අත්හැර ගියා සේ සළකනු ලබන බවයි. මෙහි අමානුෂිකම ප්‍රකාශනය සිදු කරනු ලැබුවේ එම ආණ්ඩුවේ සිටි තවත් ප්‍රබලයෙකු වූ ලලිත් ඇතුලත්මුදලි අමාත්‍යවරයා විසිනි. සියලුම වර්ජකයන් කනත්තට යවන බව ඔහු කියා සිටියේය. මෙම ආණ්ඩුවේ අධම ස්වරූපය කොතෙක් ද යන්න කීමට වෙනත් කරුණු අවශ්‍ය නොවේ. දැන් රට සංවර්‍ධනය කිරීමට, ජනතාවට සහන දීමට සැළසුම් කරන රනිල් වික්‍රමසිංහ වත්මන් අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ එම ජනපීඩක ආණ්ඩුවේ සිටි තවත් ප්‍රබලයෙකි.
මෙම ක්‍රියාන්විතයන් ඉන් නොනැවතී දම්වැලක පුරුක් මෙන් එකිනෙක බද්ධ වී ඉදිරියට පැමිණ ඇත. මේ වන විටද මතුවෙන ව්‍යසනයන් රැසකට එම හේතු මූලික වී තිබේ. තවමත් මෙම ඛේදවාචකයන්හි දුක් අදෝනා ලාංකීය සමාජ තලයේ රැව් දෙමින් පවතී. ජන සමාජයේ වේදනාත්මක ප්‍රකාශනයන් තුලින් පාලකයන් බලාපොරොත්තු වන්නේ ජනපීඩනයන්ට පිළියම් සෙවීම නොව, තම පාලන තන්ත්‍රයන්ගේ පැවැත්ම තහවුරු කර ගැනීමය.

ප්‍රියන්ත සිල්වා, මොරටුව.