දේශීය පුවත්

ජනතා පරමාධිපත්‍යය සුරැකෙන ව්‍යවස්ථාවක් පමණක් නොව ක්‍රම වෙනසක්ද අවශ්‍යයි!

19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය නිසි ලෙස අනුමත වී නොමැති හෙයින් එය විධිමත් කිරීම සඳහා ජනපතිවරණය කල් දැමීමට ඉල්ලා නීතිඥ ලක්සිරි උණවටුන විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම නිෂ්ප්‍රභා කරන ලදි. එම පෙත්සම විභාගයට ගැනීමකින් තොරවම නිෂ්ප්‍රභා කරන ලද අතර රුපියල් ලක්ෂ 5 ක මුදලක් නඩු ගාස්තු වශයෙන් ගෙවීමට පෙත්සම්කාර පාර්ශවයට අධිකරණය නියෝග කළේය. මේ අතර ජනපතිවරණය පැවැත්වීම ව්‍යාකූල කරන තවත් ව්‍යවස්ථාමය ක්‍රියාන්විතයක් දියත් වෙමින් පවතී. මැතිවරණය පැවැත්වීමේ බලය මැතිවරණ කොමිසමට හිමිව තිබියදී මෙවැනි තත්ත්වයක් නිර්‍මාණය කිරීම ගැටලු සහගතය.

ජනාධිපතිවරණයක් ආසන්නයේ මෙබඳු  ක්‍රියාකාරිත්වයන් සිදුවීම පිළිබඳව ජනතාව විමසිලිමත් වෙති.මීට පෙර එක්සත් ජාතික පක්ෂ මහා ලේකම් රංගෙ බණ්ඩාර විසින් කරන ලද’මුට්ටිය දමා බැලීමේ රංගනයේ’ම ඉදිරි කොටසක් මෙලෙස දියත් වූ බව සමාජයේ සාකච්ඡාවට ලක් වේ.මෙහි ඇති විමතිය දනවන කාරණය වන්නේ මෙම සිදුවීම්වල කේන්ද්‍රීය පුද්ගලයා වන රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මේ කරුණු ගැන ‘ඇහෙන්නෙ නෑ, පෙනෙන්නෙ නෑ.’ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමය.

2019 වසර අවසානයේ ජනපතිවරණයක් සඳහා කටයුතු සූදානම් කිරීමේදී, එවක ජනාධිපතිව සිටි මෛත්‍රිපාල සිරිසේන සිය ධුර කාලය විමසා සිටියේය.  ඔහු ජනපති වශයෙන් පත්වූයේ 2015 ජනවාරි 08 වෙනි දින වන අතර 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය අනුමත වූයේ 2015 අප්‍රේල් මාසයේදීය. මෙහිදී

ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය වූයේ ඔහුගේ ධුර කාලය වසර පහක් පමණක් වන බවයි. ඒ අනුව නියමිත කාලයේ ජනපතිවරණය පැවැත්විමට සිදුවිය.

මෙම ක්‍රියා මාර්‍ගයකට එළඹුණේ,  විධායක ජනාධිපති ධුරය අවසන් කිරීමේ ප්‍රකාශනය ද අතින් ගත්, සම්මුතිවාදී ආණ්ඩුවක නිර් පාක්ෂික ජනාධිපතිවරයා ය. නමුත් අවසානයේදී සිදු වූයේ මෙම ජනපතිවරයා සිය බලවත් ප්‍රසාදය දිනාගත් පක්ෂය වෙත පිවිසීමය. එහි සභාපති තනතුරද ඔහු පිළිගත්තේය. සිය ආණ්ඩුවේ සිටි අගමැතිවරයා, 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පැහැදිලි වන ව්‍යවස්ථා වගන්ති ගැන කිසිදු තැකීමක් නොමැතිව ධුරයෙන් ඉවත් කිරීමට ඔහු පෙළඹුණි.

රටේ ව්‍යවස්ථාව සම්බන්ධයෙන් විශාල ව්‍යාකූල බවක් ඇති වූ අවස්ථාවක් ලෙස මෙය සළකන ලදි. නමුත් මෙරට ස්වාධීන අධිකරණය පැහැදිලි, නිරවුල් තීරණයක් එම අවස්ථාවේදී ලබා දුනි. එම තීන්දුව මෙරට ප්‍රජාතන්ත්රවාදය අගයන ජනතාවගේ මහත් ප්‍රශංසාවට ලක් වූවක් විය. පසුගිය දිනවල ප්‍රකාශිත ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය ද එවැන්නකි.

ස්වාධීන අධිකරණයක පැවැත්ම මහත් ඉහලින් අගය කළ වත්මන් ජනාධිපතිවරයා මේ වන විට මාධ්‍ය ඉදිරයේ අදහස් ප්‍රකාශ කරන්නේ අධිකරණය සැහැල්ලුවට ලක් කරමිනි. පසුගිය දිනවල අධිකරණය දුන් තීන්දු තීරණ මෙම වෙස් පෙරළියට හේතු වූ බවට ඇතැම්හු අදහස් ප්‍රකාශ කරති.

ජන සමාජයේ සාකච්ඡා වන අන්දමට මෙම අනුප්‍රාප්තික ජනපතිට ඇත්තේ කොටය ඇදීම පමණි. තව දුරටත් ජනපති ධුරය දැරීමට දරන ප්‍රයත්නයේ ඇති සදාචාරාත්මක ස්වරූපය කුමක්ද යන්න ප්‍රජාතන්ත්‍රවාදය අගයන මෙරට ජනයා විමසිලිමත් වෙති.

වත්මන් ව්‍යවස්ථාව යටතේ බලයට පත්වන ජනපතිවරයා සිය ධුරය පහසුවෙන් අත්හැරීමට සූදානම් නොමැති බව මෙම ව්‍යවස්ථාව දේශපාලන කරලියට ගෙන එන ලද වකවානුවේදීම ආචාර්‍ය්‍ය ඇන්.ඇම්.පෙරේරා සහෝදරයා කියා සිටියේය. දැන් සිදුව ඇත්තේ එයයි. මෙම අවස්ථා හැරුණු විට දිගින් දිගටම ධුරයේ රැදී සිටීමට මෙරට හිටපු ජනපතිවරුන් කටයුතු කළ අන්දම ජනතාවගේ මතකයේ ඇත.

මේ වන විට ජනතා පරමාධිපත්‍යයේ කෙළෙසීමක් සමගම ප්‍රජාතන්ත්‍රවාදයේ බරපතල පරාජයක්ද මෙම ව්‍යවස්ථාව යටතේ පිළිබිඹු වී තීබේ. මේ මොහොතේදී ව්‍යවස්ථා වෙනසක් ගැන ජනතාව උද්යෝගයෙන් කතා කරති. එපමණක් නොව සමස්ථ පද්ධතියේම ක්‍රම වෙනසක් ඔවූහු අපේක්ෂා කරති.

ප්‍රියන්ත සිල්වා විසිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *