මූල්‍ය වෙළෙන්දෝ මිනිස්සු කන බත් ටිකෙන් සූදු කෙළින්න ප්ලෑනක් ගහලා! ආණ්ඩුවත් අන්දමින් ක්‍රියාක්මක කරයිද? වසන්ත ප්ලීස්, ක්‍රිප්ටො වගේ නෙවෙයි බත් ටික..
ශ්‍රී ලංකාවට සහල් ආනයනය කිරීම සඳහා අනාගත ගිවිසුම් නම් වූ මූල්‍ය උපකරණය හඳුන්වාදීමෙන් සහල් මිල පාලනය කිරීමට ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව (SEC) බලාපොරොත්තු වෙයි. ඒ සඳහා commodity derivatives exchange එකක් පිහිටුවීමට බලාපොරොත්තු වන අතර, එලෙස පිහිටුවන්නේ කොළඹ කොටස් හුවමාරුව වැනි මූල්‍ය උපකරණ හුවමාරු කිරීම සඳහා වූ පහසුකමකි.
මෙය මෙරට මූල්‍ය ධනවතුන්ගේ යෝජනා මත ක්‍රියාත්මක වන්නකි. ආණ්ඩුවේ නායකයන්ට වැටහුණත්, නැතත් අවදානම් සහගත ක්‍රියාවකි.
ශ්‍රී ලංකාවේ මෑතකදී නියෙලිනී නම් ගෝලීය ආහාර සමුළුවකට වෙළඳ ඇමතිවරයා සහභාගී වූ අතර පොල්තෙල් පහනත් දැල්වීය. ඒත් සමුළුවේ අරමුණ ගැන කිසිම අවබෝධයක් ඇති වුණාද? එතැනදී කී වචනයක්වත් වසන්ත සමරසිංහගේ ඔලුගෙඩියට ගියාදැයි සැක සහිතය. සාර්ථක ව්‍යාපාරිකයෙක් වන නිසා සමුළුවේ ඉඳගෙන ඉන්න අතරේත් ක්‍රිප්ටොකරන්සි ගැන කල්පනා කරමින් හිටියාදැයි සැක සහිතය. සමහරවිට ගොවියාව සූරාකන එල්ඕඑල්සී වැනි මූල්‍ය සමාගමක කරන ආයෝජන ගැන කල්පනා කරමින් සිටියා විය හැක.
ආහාර ස්වෛරීත්වය කියා එකක් පවතී. ශ්‍රී ලංකාවේ ආහාර ස්වෛරීත්වය ගැන කල්පනා කළ යුතුය.
‘ද සන්ඩේ මෝනිං බිස්නස්’ පුවත්පතට අදහස් දක්වමින්, සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය හාරින්ද්‍ර දිසාබණ්ඩාර මහතා ප්‍රකාශ කළේ, මෙරට භාණ්ඩ ව්‍යුත්පන්න වෙළෙඳපොළක් හෝ බහු-ව්‍යුත්පන්න හුවමාරුවක් (multi-asset derivatives exchange) පිහිටුවීම සඳහා උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ගෙන් යෝජනා කැඳවා ඇති බවත්, එහිදී වී, තේ සහ කුළුබඩු සඳහා අනාගත ගිවිසුම් (future contracts) ලබා දීමට ඔවුන් අපේක්ෂා කරන බවත්ය.
ඔහු එහිදී කියා ඇත්තේ විනිවිදභාවයෙන්, සාධාරණත්වයෙන් සහ විධිමත්භාවයෙන් යුත් භාණ්ඩ වෙළෙඳපොළක් ස්ථාපිත කිරීම මගින් කිසිදු පාර්ශ්වයක් අනවශ්‍ය හෝ අසාධාරණ ප්‍රතිලාභ ලබා ගැනීම වළක්වා ගැනීමට උපකාරී වනු ඇති බවය.
එමගින් කළු කඩ ඉවත් කිරීමට හැකි වනු ඇතැයි ඔහු කියයි. එහෙත්, සැබෑ ලෙසම මෙරට පාරිභෝගිකයන්ට අදාල නීතිරීති රැසක් පවතින අතර, ජනාධිපතිවරයා බලයට පත් වූ විගස කී ආකාරයෙන් එම නීති ක්‍රියාත්මක කිරීමෙන් පමණක් කළු කඩ සහ ඒකාධිකරයන් බිඳ දැමීමට හැක. එයට අදාල බුද්ධිමය සාකච්ඡාවක් දැනටමත් ලංකවේ පවතී. කළ යුතු දේ පැහැදිලිව පවතී.

ආණ්ඩුව ඇවිත් අවුරුද්දක් යද්දී ඒවා අමතක වී ඇති හැඩකි. ඒ වෙනුවට අලුත් සෙල්ලමකට ඉඩ සලසමින් සිටී.
commodity derivatives exchange එකක් පිහිටූවීම සඳහා දැනටමත් යෝජනා හයක් ලැබී ඇති බවත්. ඒවා ඉදිරි මාස දෙකක් තුළ ඇගයීම අවසන් කරමින් සිටින බවත් ඔහු කියා ඇත. එයින් පසු ටෙන්ඩර් පිරිනැමීමක් සිදුවනු ඇත. කෙසේ වෙතත්, commodity derivatives exchange ක්‍රියාත්මක කිරීමට වසර දෙකක් පමණ ගතවනු ඇතැයි කොමිසමේ සභාපතිවරයා මෝනිං වෙත කියා තිබේ.
“අපට වෙළෙඳ, කෘෂිකර්ම හා වාරිමාර්ග සහ මුදල් අමාත්‍යාංශ මෙන්ම සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව සහ තවත් බොහෝ පාර්ශ්වකරුවන් සමඟ කටයුතු කිරීමට සිදු වෙනවා. අපි වී, තේ සහ කුළුබඩු සමඟින් ඉදිරියට යාමට සිතුවා, ඒ නිසා අපට මේ සියලු දෙනා සමඟ වැඩ කිරීමට අවශ්‍යයි”
ඔහු පැහැදිලි කර ඇත. යෝජනා හයම විදේශීය පාර්ශ්වයන්ගෙන් ලැබී ඇති බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළ නමුත්, එක් යෝජනාවක් කොළඹ කොටස් හුවමාරුව (CSE) සමඟ එක්ව ඉන්දීය පාර්ශ්වයක් විසින් ඉදිරිපත් කර ඇති බවද සඳහන් කළේය.
අනාගත ගිවිසුමක් (Futures Contract) යනු කුමක්ද?
අනාගත ගිවිසුමක් ඇති කරගන්නේ යම් භාණ්ඩයක් විකුණන පුද්ගලයා සහ මිලදී ගනු ලබන පුද්ගලයා – තේ හෝ සහල් වැනි ආහාර ද්‍රව්‍ය මෙතැනදී – අනාගත දිනයේදී අහවල් මිලට භාණ්ඩය මිලට ගන්නවායැයි එකඟ වීමකි. ගොවීන්ට සහ වෙළඳුනට ස්ථාවර මිලක් නියම කරගනිමින් අවදානම අවම කර ගැනීමට එය භාවිතා කළ හැකි බව විශ්වාසයයි.
එහෙත් ඇත්තටම සිදු වන්නේ, අනාගත ගිවිසුමකදී අනාගත දිනයේ මිල මෙතරම් ප්‍රමාණයක් වනු ඇතැයි තීන්දු කරන්නේ සමපේක්ෂණයන් මත පදනම්වය. ලාභයක් ලබාගැනීමට නම් සූදු කෙළිනවා වගේ අනාගත මිල ගැන එකඟතාවකට පැමිණිය යුතුය. එමගින් සැබෑ වෙළඳපොළ විකෘති කිරීමේ අවදානම ඇත.
ආහාර සුරක්ෂිතතාව සහ සමපේක්ෂණය
ජයති ඝෝෂ් වැනි වාම නැඹුරුවක් ඇති ආර්ථික විද්‍යාඥයින් දිගු කලක් තිස්සේ ආහාරවල මූල්‍ය සමපේක්ෂණය (financial speculation) පිළිබඳව අනතුරු ඇඟවූහ. ඔවුන් තර්ක කරන්නේ අත්‍යවශ්‍ය භාණ්ඩ මූල්‍ය උපකරණ බවට පත් කිරීමෙන් වෙළඳපොළට ස්ථාවරත්වය නොව, අස්ථාවරත්වය (volatility) ගෙන දෙන බවයි.
“අනාගත වෙළෙඳපොළේ සමපේක්ෂණ වෙළෙඳාම ගෝලීය වශයෙන් මිල ඉහළ යෑම්වලට සහ ආහාර අර්බුදවලට දායක වී තිබෙනවා”
යැයි ඝෝෂ් අනතුරු අඟවා ඇත.
නිදසුනක් ලෙස, 2007-08 ගෝලීය ආහාර අර්බුදය උග්‍ර වූයේ ධාන්‍ය මිල මත හෙජ් අරමුදල් (hedge funds) සහ මහා පරිමාණ ආයෝජකයින් මූල්‍ය වෙළඳපළේ සූදු කෙළීම් වාගේ ඔට්ටු ඇල්ලීම නිසාය. එය දුප්පත් රටවල ආහාර හිඟයන්ට සහ උද්ධමනයට හේතු විය. කෘෂිකාර්මික වෙළෙඳපොළේ සමපේක්ෂණ ක්‍රියාකාරකම්වලින් පසු යුක්රේනය සහ තවත් රටවල් කිහිපයක් ද කඩාවැටීම්වලට මුහුණ දී ඇත.
ශ්‍රී ලංකාවේ විචාරකයින් තර්ක කරන්නේ යෝජිත හුවමාරුව මගින් ආහාර මිල තීරණය කිරීමේ පාලනය දේශීය පාර්ශ්වයන්ගෙන් විදේශීය වෙළෙන්දන් වෙත මාරු කළ හැකි බවයි. “ඔබට නියාමනය ඉවත් කිරීමෙන් ආහාර යුක්තිය (food justice) ඇති කළ නොහැකියි” යැයි එක් ශ්‍රී ලාංකික විද්වතෙක් සඳහන් කළේය. “සින්ඩිකේට් වෙනුවට භාණ්ඩ වෙළෙඳුන් සහ සමපේක්ෂකයන් ආදේශ කිරීමෙන් සිදුවන්නේ මේ වෙළඳපළේ රූකඩ නටවන පාර්ශ්වය වෙනස් වීම පමණයි.”
හෙට වන විට ආයෝජකයන්ට, මූල්‍යමය වශයෙන් ආහාර වෙළඳපළ මත ඔට්ටු ඇල්ලීමට ඉඩ ලැබෙනු ඇත. ඩඩ්ලි සිරිසේන වෙනුවට මූල්‍ය ආයතන ආහාර ගැන තීන්දු ගන්නට පටන් ගනු ඇත. සරම ඇඳගත් ඩඩ්ලි වාගේ හාල් වෙළඳුන්ගේ මාෆියාව වෙනුවට කෝට් ඇඳගත මූල්‍ය විශේෂඥයන්ගේ මාෆියාවකට ජනතාවගේ ආහාර මිල ගැන තීන්දු ගැනීමට හැකි වනු ඇත.
ආහාර යනු මූල්‍යමය සූදුවක් නොව, අයිතියකි.
Amila Rathnayake
ස්තූතිය: whatnews.lk

