ට්රම්ප් අවුරුද්දට තඹුත්තේගම ගිහිල්ලා..
අවුරුදු නිවාඩුවට ගමේ ගිය අනුර පාන්දරින්ම නැගිට අම්මා පිසු කිරිබත් කෑලි දෙකක් කා එළියට බැස්සේ ජයතිලක ද සිල්වා සිංහලට පරිවර්තනය කළ දාස් කැපිටාල් පොත ද රැගෙනය. මේ පොත කලින් කිප වතාවක්ම කියවා තිබුණ ද දැන් ඒ කිසිවක් මතකයේ නැත. නිවාඩු දවස් කීපයේ එය කියවා අවසන් කිරීමට සිතා ගත් ඔහු පහළ ගෙදර කොල්ලන් මිදුළේ අඹ ගසේ බැඳ තිබු උන්චිල්ලාවේ වාඩි වී පොත දිග හැරියේය. පිටු දෙකක් කියවීමටත් පෙර කව්දෝ පිටට තට්ටු කරනු දැනී හිස ඔසවා බැළුවේය.
හත්දෙයියනේ ට්රම්ප්!
පොත බිම දමා නැගි සිටි අනුර ‘වාඩිවෙන්න සර්’ කීවේ පුටුවක් හෝ නොදැකය.
අඹ ගහ යට තිබු ප්ලාස්ටික් පුටුවේ හරි බරි ගැසී වාඩි වූ ට්රම්ප් අනුර දෙස තියුණු බැල්මක් හෙළුවෙය.
‘හරි රස්නෙයි නේද සර්” අනුර කීවේ කුමක් හෝ කිව යුතු තිබු නිසාය.
‘ඒකට කමක් නැහැ’‘ ට්රම්ප් උඩඟු ලෙසින් කීවේය.
‘මට ඔහෙත් එක්ක පොඩි කතාවක් තියෙනවා.”
‘ඉතින් සර් කොළඹ අපේ මන්දිරේට ආවානම් කරදරයක් නැතිව කතා කරන්න තිබුණානෙ’‘
‘නෑ ඊට වැඩිය මෙහෙ හොඳයි.” කියමින් ට්රම්ප් තම කෝට් එකේ වම් පළුව විවර කොට යට සාක්කුවට අත දමා ලියවිල්ලක් එළියට ගත්තේය.
‘මේක මතක ද’‘
ටිකක් ඒ දෙසට නැඹුරු වූ අනුර “ඔව් මට මතකයි සර්” කීවේය.
‘කවුද මේකේ ලිව්වේ” ට්රම්ප් ටිකක් උස් හඬින් ඇසුවේය.
‘අර ගොල්පේස් මහින්ද’
‘හා කමක් නෑ. මේක තියෙන ඒවා දන්නවාද?.
‘ටිකක් දන්නවා.’
‘ටිකක් නොවෙයි හොඳටම දැන ගෙන ඉන්න තිබුණා.” ට්රම්ප් සැරෙන් කීවේය.
‘මොනවද මේ ටැක්ස් අඩු කරන්න කියන්නේ?. ට්රම්ප් කෙළින්ම මුහුණ බලා ඇසුවේය.
‘ටැක්ස් නිසා අපේ බඩු ඇමරිකාවට යවන්න බැරි වුණොත් අපිට ඩොලර් හම්බු වෙන්නේ නැහැ. එතකොට අපිට සර්ලගේ ණය ගෙවන්න බැහැ” අනුර බැගෑපත් වූයේය.
‘මේ ටැක්ස් දාන්න කලින් නේද තමුසෙලා ණය වුනේ” ට්රම්ප් බිම වැටී තිබුණ දාස් කැපිටාල් දෙස බලමින් ඇසුවේය.
‘එතකොට ආණ්ඩු කෙරුවේ අපි නෙවෙයි.” අනුර ඇඟ බේරා ගැනීමට උත්සාහ කෙළේය.
‘ඒක මට වැඩක් නැහැ. දැන් ඔහේ මොකද කියන්නේ”? ට්රම්ප් නැවතත් අනුරගේ මුහුණටම ඇසුවේය.
‘අපි සර්ලගෙන් බඩු වැඩියෙන් ගන්න අපේ ටැක්ස් අඩු කරනවා. එතකොට වෙළඳ අතිරික්තයක් ඇති වෙන්නේ නැහැ.”
‘මේ තරුණයා මාත් එක්ක විහිළු කරන්න එපා. වෙළඳ අතිරික්තෙ නැති වුනාම ණය ගෙවන්න තමුසෙට ඩොලර් කෝ?. ට්රම්ප් හඬ උස් කර ඇසුවේය.
‘බලනව මේ ෂර්ට් එක?. ට්රම්ප් තම කෝට් එකේ පළු දෙක විවර කර පපුව ඉදිරියට දමා කීවේය.
‘ලස්සන ෂර්ට් එකක්’‘ අනුර බයාදු ලෙසින් කීවේය.
‘අයිසෙ ෂර්ට් එකක් ගන්න මම නිව්යෝර්ක් එකේ කඩයක් ගානෙ ගියා. හැම තැනම තියෙන්න මේවා.” කලිසමේ සාක්කුවෙන් ගත් ලේන්සුවෙන් මුහුණ පිස දමමින් ට්රම්ප් කීවේය.
‘තමුසෙ දන්නවද මේක හදල තියෙන්නේ මොන රටේ ද කියලා” ලේන්සුව සාක්කුවට ඔබමින් ට්රම්ප් ඇසුවේය.
‘නෑ සර්” අනුරගේ උගුර කට වියලී යන්නා සේය.
‘දැන ගන්නවා. සිරි ලංකාවේ. අපිට අපේ රටේ ෂර්ට් එකක් ගන්නවත් නැහැ. මේ දුප්පත් බයියලා හදන ඒවා තමයි අපිට ඩොලර් දිලා ගන්න වෙලා තියෙන්නේ. මේක වෙනස් කරන්න තමයි ටැක්ස් දැම්මේ” ට්රම්ප් ප්ලාස්ටික් පුටුවෙන් නැගිටිමින් කීවේය.
කැර කැවිල්ලක් වගේ දැනුණ නිසා අනුර අඹ ගසට හේත්තූ වූවේය.
‘මේක හොඳින් අහ ගන්නවා. එක එකාට ඕන විදියට මම ආණ්ඩු කරන්නේ නැහැ. ආණ්ඩු කරන්නේ මට ඕන විදියට. ඔය සාකච්ඡා අරව මේව මගෙ ළඟ නැහැ. පරිස්සමෙන් වැඩ කරනවා. නැත්තම් වැඩ වරදින්න පුළුවන්.” වම් අතේ දඹරැඟිල්ල අනුර ගේ මුණටම තියා ට්රම්ප් කීවේය.
අනුර ඇස් පියා ගත්තේය. මොහොතකට පසු ඇස් අරින විට ට්රම්ප් නැත. ඉදිකඩ පසු කර ඈත යන සෙවනැල්ලක් වැනි දෙයක් දිස්විය.
බිමට නැමී දාස් කැපිටාල් පොත අවුලා ගත් අනුර අපහසුවෙන් ඉස්තෝප්පුවට ගොඩ වූයේය.
