පෙරේ ලාචෙස්: කොමියුනිස්ට් විප්ලවයේ සොහොන්කොත සහ තොටිල්ල!
නිර්‍ධන පන්තියේ පළමු රාජ්‍යයය බවට පත් වූ පැරිස් කොමියුනයේ අවසාන සටන් බිම!
විමුක්ති දේශපාලනයේ තියන බොහෝ ගුණයන් අතුරින් වැදගත්ම එකක් තමයි එකට කාලය හරහා ගමන් කරන්න පුළුවන්කම. සමාජවාදය, කොමියුනිස්ට්වාදය සහ ජාත්‍යන්තරවාදය තුළ නිදන්ගත වෙලා තියන මේ ගුණය ඉතිහාසයේ පැලුම් රේඛා අතුරින් මතුවෙන්නේ වෙනස් ලෝකයක පණිවිඩය දරාගෙන. ආර්ථික අර්බුද ඇතුලේ ඉතිහාසගත බරකින් මේ පණිවිඩය සහ එහි ඒජන්තයන් මතුවෙන අතර අරගල ඉතිහාසයේ ස්මරණයන් ඇතුලේ ඉතිහාසය විසින් සංයුක්තව ඒ ‘මියගිය’ ‘නිහඬ’ ‘පස්වෙමින් පවතින’ ඉතිහාසය හදාරන්නට අපට බලකරමින් සිටී.
පැරිස් නගරයේ 20 වන දිස්ත්‍රික්කයේ පෙරේ ලාචෙස් සුසානය (Père Lachaise Cemetery) යනු ඉතිහාසය මත අපිට ඇවිද යන්න හැදුනු බිම් කඩක්. ප්‍රශ සමාජයට මෙන්ම යුරෝපයේ ඉතිහාසයේ ගමන් මග වෙනස් කල මිනිස්සු බොහොමයක් තම ගමන් නිමා කරන්නට තීරණය කර ඇත්තේ පෙරේ ලාචෙස් සුසානයේ. එමෙන්ම දෙවන ලෝක යුද්ධය සහ නාසි වදකදවුරු වල ජීවිතයට අදාලව නිර්‍මාණය කර ඇති සාමුහික සොහොන්කොත් සහ ස්මාරක නිසාවෙන් පේරේ ලාචෙස් සුසානය යුදෙව් ජනතාවට, ප්‍රංශයේ වැඩකරන පන්තියට සහ සමස්ත ලෝක මනුෂ්‍ය සංහතියට ම කෞතුකාගාරයක් බවට පත් වෙයි.
පෙරේ ලාචෙස් කොමියුනිස්ට්වාදීන්ට සුවිශේෂී වන්නේ එහි නිදන ජාත්‍යන්තර කොමියුනිස්ට්වාදීන් නිසාම පමණක් නොවෙයි. නිර්‍ධන පන්තියේ පළමු රාජ්‍යයය බවට පත් වූ පැරිස් කොමියුනයේ අවසාන සටන් බිමක් වන්නේත් පේරේ ලාචෙස් සුසානයයි.
Semaine sanglante නැත්නම් Bloody Week වශයෙන් හඳුන්වන 1871 මැයි 21 සිට මැයි 28 දක්වා කාල සිමාව තුළ ප්‍රංශ හමුදාව සමග මරණිය සටනක් කරන්නට පැරිස් කොමියුනයේ නිර්‍ධන පාන්තික හමුදාවට සිදු වන්නේ මේ භුමිය මතයි. අවසානයේ, යටත් වන 160 කට ආසන්න පිරිස වෙඩි තබා මරා දමන්නේ මේ සුසානයේ බිත්තියකට හේත්තු කරමින්. එය අද හඳුන්වන්නේ The Communards’ Wall (Mur des Fédérés) යන නමින්. ඒ තාප්පය ඉදිරිපිට දී ඇතැම්විට ඔබට ඉතිහාසය නිර්‍මාණය කිරීම වෙනුවෙන් මනුෂ්‍යයා කරන කැපවීම් වල සැබෑ ජීව ගුණය දැනේනට ඉඩක් ඇත.
පැරිස් කොමියුනයේ සහෝදර සහෝදරියන් මෙන්ම හතරවන ජාත්‍යන්තරයේ සුවිශේෂී දේශපාලන සහ න්‍යායාත්මක දායකත්වයක් දැක්වූ කොම්රේඩ් Pierre Frank (24 October 1905 – 18 April 1984) සහ කොම්රේඩ් Ernest Mandel (5 April 1923 – 20 July 1995) තම අවසාන නවාතැන ලෙස තෝරාගෙන ඇත්තෙත් පෙරේ ලාචෙස් සුසානයයි.
සමාජවාදී ක්‍රියාකාරීන් වූ මාක්ස්ගේ එක් දියණියක් වූ Laura Marx සහ Paul Lafargue තම අවසන් නැවැතුම ලෙස තෝරාගෙන ඇත්තෙත් මේ බිමයි.
එදුවර්දෝ ගලෙයානෝ වරක් පැවසුවාක් මෙන් “There is nothing more orderly than a cemetery.” පෙරේ ලාචෙස් සුසානය යනු ඒ ක්‍රමවත් නිස්කලංක බවට යටින් ඉතිහාසයේ අරගලයේ, විප්ලවයේ සහ විමුක්තියේ මහෝඝය රැගෙන යන බිමක්. යන්න ලැබුනොත් පොළවට අත තබා බලන්න!
කල්ප රාජපක්ෂයන්ගේ සටහනකි!