‘ධර්මසිරි ලංකාපේලි’ නම් මාධ්‍ය ක්ෂේත්රයේ වෘත්තීය සමිති නියමුවා..
ඉන්දිරා නවගමුව,
සභාපති,
මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය.
ප්‍රිය සහෝදරිය,
සටන්කාමී වෘත්තීය සගයා ධර්මසිරි ලංකාපේලි වෙනුවෙන් ලියමි.
මාගේ ප්‍රිය මිතුරෙකුද සහෝදරයෙකුද ඉන් ඔබ්බෙහි පුරෝගාමියෙකුද වන ධර්මසිරි ලංකාපේලිගේ මෙහෙවර අගය කරන්නට ඔබ සම්මේලනය තීරණය කිරීම ඉතාම කාලෝචිත සහ අනිවාර්යයෙන් කළ යුත්තක් ලෙස සළකා පුද්ගලිකවද නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු ලෙසද මාගේ සුබපැතුම් පිරිනමමි.
මෙවැන්නක් සංවිධානය කිරීම සම්බන්ධව ඔබ මා හා සමග කිහිපවතාවක් කළ කතාබහ මේ අවස්ථාවේ සිහිපත් වේ. එය සටන්කාමී සගයෙකු ඇගයීම සඳහා වන සද්ජන වෑයමක් ලෙස සළකා ඊට අතහිත දුන් සැමට මගේ ශීර්ෂ ප්‍රණාමය පිරිනමමි.
හිතවත් ඉන්දිරා, මේ කෙටි සටහන අද රැස්ව සිටින සහ ධර්මසිරි ලංකාපේලි සහෝදරයා ඇගයීමට දායක වන සියලු දෙනා හමුවේ කියවන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. ඒ ඔහු පිළිබඳව මා තුළ ඇති ගෞරවය පෙරදැරිවය. අද ඔබ අතර ඉන්නට ඉඩ ලද්දේ නම් එය මහත් සතුටක් වන නමුත් නොවැළැක්විය හැකි පුද්ගලික කරුණක් මත කොළඹින් බැහැර වන්නට සිදුවීම කනගාටුදායකය.

ධර්මසිරි ලංකාපේලි නම් මාධ්‍ය ක්ෂේත්රයේ වෘත්තීය සමිති නියමුවෙකු සිටින බව මම සමීපස්ථව දැනගත්තේ දෙදහස මුල් ගණන්වලදීය. ඒ මා තුරුණු ගුවන්විදුලි ශිල්පියෙකු ලෙස වෘත්තීය ජීවිතය ආරම්භ කළ සමයයි. නමුත් ඔහු පිළිබඳ මට පාසල් සිසුවෙකු ලෙස අනූ ගණන්වල මුලින්ම අසන්නට ලැබී තිබුණි. එවකට පැවති භීම සමයේ පාලනයන්ට එරෙහිව කටයුතු කළ සමාජ ව්‍යාපාර අතර ඔහුද සිටි බව මගේ මතකයයි.
පසුව මාධ්‍ය සංවිධාන එකමුතුව ලෙස කරලියට ආ නිර්භීත හවුලේ ලංකාපේලිද ඉදිරිපෙල ක්‍රියාකාරිකයෙකුව සිටියේය. නිදහස් මාධ්‍ය ව්‍යාපාරය හා එක්ව කටයුතු කළ ඔහුගේ සමකාලීනයන් මේ මිනිසා ගැන කළ දහසක් ඇගයුම් මට අසන්නට ලැබී ඇත.
ධර්මසිරි ලංකාපේලි හෙවත් ලංකා අයියා නිරතුරුව මාධ්‍යවේදීන්ගේ වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටියේය. සියලු රජයන් සමග ඒ සම්බන්ධව සාකච්ඡා කළේය. පලක් නොවනු සාකච්ඡා කෙළවර ගැටුණේය.
මා දන්නා ඔහුගේ දේශපාලනය වාමවාදීය. එය කිසිදා වෙනස් නොවිණි. ඔහු සිය දේශපාලනය තුළම සිටි තියුණු සමාජ ව්වේචකයෙකි. අදද ඒ නොසැලෙන ගුණයෙන් සමාජ විරෝධ විවේචනය කිරීමට ඔහු නොපැකිලෙන බව මම දකිමි.
ඇතැම් අවස්ථාවල ඔහු හා ඔබ නියෝජනය කරන මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය සමග එකතු වන්නැයි මට ඔහුගෙන් සුහද ඇරයුම් ලැබී ඇත. ඊට අවස්ථාවක් ලැබී නැතත් මම ඒ සියල්ල ගෞරවාන්විතව මතකයේ තැම්පත් කරගත්තෙමි. ලංකාපේලි සහෝදරයා සමග එක පෙරමුණක එක්ව කළ සටන් ගැන මතකද එසේම අපගේ හදවත්වල සුරැකිව රැඳී ඇත.
ඔහු හා ගත කළ සුන්දර දවසක මතකය මට දැනුදු සිහිපත් වේ. ඒ වැල්ලවායේ වෙල්ලස්ස ගොවි කාන්තා නිවහනේය. පරිධියේ ගැහැණුන් අයිතීන් ගැන දැනුවත් කළ දිනකදීය. එදා මේ සොඳුරු මිනිසා ඇසුරේ මීවිතක් හා රස මොහොතක් විය. සටන්කාමී මිනිසෙකු තුළ සිටින දයාබරයෙකු එදා සම්මුඛ විය.
ප්‍රිය මිතුරු මිතුරියනි,
ලංකාපේලි වැන්නවුන්ගේ අගය අදට වඩා දැනෙන්නේ හෙටය. මේ වනවිට මාධ්‍ය කර්මාන්තය උඩුයටිකුරු වෙන අන්දමේ විපරිණාමයකට භාජනය වී ඇත. අනාගතයේ ඔන්ලයින් අවකාශ තුළ කේවල අන්තර්ගත සම්පාදකයින් රැසක් මිස ආයතනගත හා ව්‍යුහාත්මක වපසරියක වැඩ කරන මාධ්‍යවේදීන් හිඟ වනු ඇත. අයිතිවාසිකම් දිනාගැනීම සඳහා සහ ආරක්ෂා කරගැනීම සඳහා එවැන්නන් පෙළගැස්වීමද වඩාත් අසීරු වනු ඇත.
එවැනි මොහොතකදී ධර්මසිරි ලංකාපේලි වැන්නන්ගේ මෙහෙවර ස්වර්ණමය බව කතාබහට ලක්වෙනු ඇත.
ඉදින්, අද එන්නට නොලැබීම ගැන නැවතත් දුක් වෙමි. මගේ ප්‍රිය මිතුරෙකුද, පුරෝගාමී මග පෙන්වන්නෙකුද වන ලංකාපේලි සහෝදරයාට නිරෝගී සම්පත චිරජීවනය පතමින් ආචාරය පුද කරමි.
ලසන්ත ද සිල්වා
කැඳවුම්කරු
නිදහස් මාධ්‍ය ව්‍යාපාරය.


