පල්ලේගම හේමරතන, දැරියකට සිදුකළ බාලඅපචාරී ක්‍රියාව හෙළා දකිමු! එය දේශපාලනිකව කියවා ගනිමු!

2026 මැයි 25,
මාධ්‍ය නිවේදනය,
අනුරාධපුර අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නමැති භික්ෂු වේශධාරියා අනුරාධපුර බාලවයස්කාර දැරියකට කළ බාලඅපචාරී ක්‍රියාව මෑත කාලයේ ශ්‍රී ලංකික සමාජය විවිධ මානයන්ගෙන් ගිනියම්කළ සිදුවීමක් ලෙස සැළකිය හැක.
මෙම සිදුවීම, ‘සමාජවාදී ජනතා සංසදය’ට අනුව මේ සිදුවීම, අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ප්රමුඛ ජාතික ජනබලවේග රජය “රටේ නීතිය කාටත් සමානයි” කියන පුරසාරම් කතා පුස්සක් බවට පත් කළ අවස්ථාවක් විය. රටේ නීතිපතිවරයා, ළමා කටයුතු අමාත්‍යාංශය, ශ්‍රී ලංකා පොලීසියේ මැදිහත්වීම් පමණක් නොව ප්‍රධාන ධාරාවේ බොහෝ ජනමාධ්‍ය වාර්තාකරණය කොතරම් පාර්ෂවීය ද, ඒවා ඔසවා තබන්නේ කුමන දේශපාලන පක්ෂයක න්‍යාය පත්‍රය ද යන්න පැහැදිළි විය. එමෙන්ම යුක්තිය වෙනුවෙන් නොව මුදලට යටවූ “කළුකෝට් කාරයන්ගේ” සේවය කාටද යන්න හෙළිදරව්වූ අවස්ථාවක් ලෙස සැළකිය හැක.
එසේ වුද ද, රාජ්‍ය යන්ත්‍රය එලෙස හැසිරෙද්දී ළමා ආරක්ෂණ අධිකාරිය, හා එහි නීති අංශය මේ සිදුවීම හා අපචාරයට ලක්වූ දැරියට යුක්තිය ඉටුකිරීම වෙනුවෙන් ගත් වෙහෙස සටහන් කිරීමට අමතක නොකරමු.
පෙර, පසු ආරක්ෂිත පොලිස් වාහන සමගින් සුඛෝපභෝගී වෑන් රථයකින් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත විත්තිකාර හේමරතන කැඳවාගෙන එනු ලැබීය. අධිකරණමය තීන්දු නොතකා සුපිරි ඝනයේ රොහලක එතෙක් ඔහුට නොතිබූ බරපතල රෝගයකට සේ ප්‍රතිකාර ගනිමින් වෛද්‍ය වෘත්තිය පවා හෑල්ලුවට පත්කළ මෙම ලමා අපචාර සිදුවීම වසන් කරන්නට උත්සාහ ගනු ලැබීය. විත්තිකරුගේ ඔලුවේ සිට කහකඩකින් වසාගෙන අධිකරන ශාලාවට සැපත්වීම ඇතුළු මේ සිදුවීම් සියල්ල පිටුපස සිටි අදිසි හස්තය චුදිතයාගේ සමීප ඥාති, රටේ රාජ්‍ය ආයකන බලවතෙක් බව කියැවේ.
‘සමාජවාදී ජනතා සංසදය’ මේ දරුණු අපරාධය ගැන දේශපාලන කෝණයකින් ජනතාවට පණිවිඩයක් දීමට අපේක්ෂා කරයි. අනුර දිසානායක නායකයා ප්රමුඛ ජාජබ ආණ්ඩුව පොරොන්දු වූ ‘පොහොසත් රටක්- ලස්සන ජීවිතයක්” පිළබඳව ඔබ ඇතුළු බොහෝ ජනයා බලාපොරොත්තු සහගත විය. ඒ සියළු බලාපොරොත්තු වසර දෙකක් ගතවෙන්නටත් මත්තෙන් උඩු සුළඟේ ගසාගෙන ගොස් අවසන්ය. අවම තරමේ ජාතික ජන බලවේගය පොරොන්දු වූ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමේ පොරොන්දුව බොහෝ මානයන්ගෙන් දරුණු ලෙස නායයමින් පවතී. ජාජබ ආණ්ඩුව ආගමික සංස්ථා ඉදිරියේ කොයිතරම් නිවට ද යන්න මේ සිදුවීම මොනවට ලෝකය ඉදිරියේ සනාථකර ඇත.
පරාජිත බෙලහීන විපක්ෂයේ පක්ෂවලට වුවද මේ ඛේදජනක ළමා අපචාරය ගැන කිසිදු අදහසක් නැත. විශේෂයෙන්ම සර්වජන බලය පක්ෂයේ දිලුම් අමුණුගම මේ දරුණු අපහරණය ලක්වූ දැරිවිය හඳුන්වන්නේ අපහාසාත්මක නාමකරණයකිනි. ලිංගික අපහරනයකට සහ දරුණු සූරාකෑමකට ලක්වූ දැරිවියක් තව තවත් සමාජ-අපහරණයට ලක් කිරීමට මේ දක්ෂිණාංශික දේශපාලනය දෙවරක් සිතන්නේ නැත. තමන්ගේ දේශපාලනයට දරුවන් සහ ස්ත්‍රීන් හුදු උපකරණ මිස ඔවුහු විමුක්තිය සහ සාධාරණත්වය අපේක්ෂා කරන මනුෂ්‍යයන් බව මේ දේශපාලන දෘෂ්ටිවාදයන් මොහොතකටවත් හිතන්නේ නැත.
සමාජවාදීන් වශයෙන් අප ගැඹුරින් විශ්වාස කරන්නේ දරුවන් සහ ස්ත්‍රී විමුක්තිය පිළිබඳ ප්රශ්නය අපේ දේශපාලනයේදී සුවිශේෂී ප්‍රශ්නයක් බවයි. සැබවින්ම බිමේ සිදුවන සිද්ධීන් හා එම ප්රශ්නය ඕනෑම දේශපාලන ව්‍යාපාරයක් ගැඹුරින් ස්පර්ශ කළ යුතු එකක් බව අපට පෙන්වා දෙයි. එමනිසා ‘සමාජවාදී ජනතා සංසදය’ මෙම අපරාධයේදී වින්දිත දැරිය සමග කොන්දේසි විරහිතව සිට ගන්නා බව සමස්ත ශ්‍රී ලංකා සමාජයට ප්‍රකාශ කරමු.
මේ රටේ ජනතාව අපේක්ෂා කළ පැතුම, ඒ සමාජ වෙනස ඇති කරන්නට ජනතාව සෘජුව මැදිහත්වෙන, ජනතාවගේම දේශපාලන බල ව්‍යුහයන් රටතුළ පිහිටුවා ගන්නට ජනතාව වශයෙන් අප ම මැදහත්විය යුතුය. යහපත්, සාධාරණ ජීවන අවස්ථාවන් නොමැතිවීම නිසාම හෙට දවසේ මෙවැනි මල්කැකුළු වන් දරුවන් රැකගතහැකි යහපත් ජීවන රටාවක් සහිත සමාජයක් වෙනුවෙන් වෙහෙස වන්නට, කතාබහ කරන්නට, මැදිහත්වන්නට “සමාජවාදී ජනතා සංසදය” ඔබට ඇරයුම්කර සිටී.
මෙයට විශ්වාසී
ධර්මසිරි ලංකාපේලි
ලේකම්




