දේශීය පුවත්ප්‍රධාන පුවත්

පීටීඒ මේ රජයත් අවභාවිත කරලා! එය අහෝසි කරන්න! එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස්ගේ විශේෂ වාර්තාව එළියට

ශ්‍රී ලංකාවේ මීට පෙර සිදුව ඇති බරපතල මානව හිමිකම් කඩකිරීම්, ජාත්‍යන්තර අපරාධ ඇතුළු සිදුවීම් සම්බන්ධයෙන් යුක්තිය සහ වගවීම ඉටු කිරීම සඳහා ශ්‍රී ලංකාව තුළ මුල් බැසගෙන තිබෙන දණ්ඩ මුක්තිය දැමීමට ලැබී ඇති ඓතිහාසික අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නා ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය විසින් අද නිකුත් කරන ලද වාර්තාවක් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටිනවා.

පරිවර්තනීය ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන ලෙසත්, දිග කාලයක් තිස්සේ ප්‍රමාද වූ යුක්තිය සහ වගවීම ලබා දීමට මෙම ඓතිහාසික අවස්ථාව ලැබී ඇති බවත් එම වාර්තාවේ සඳහන්.

ශ්‍රී ලංකා‍වේ ආරක්ෂක අංශවල පුළුල් ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණයක් සහ රටේ ජාත්‍යන්තර මානව හිමිකම් බැඳීම්වලට අනුකූල වන පුළුල් ව්‍යවස්ථාමය, නෛතික සහ ආයතනික ප්‍රතිසංස්කරණ එම වාර්තාවෙන් යෝජනා කර තිබෙනවා.

මානව හිමිකම් කොමසාරිස් වොල්ටර් ටකර්ගේ අත්සනින් යුක්තව නිකුත් කර ඇති මෙම සම්පූර්ණ වාර්තාව මෙතැනින්.

..අද වන විට, වින්දිතයින්ට යුක්තිය ඉටු කිරීම, නීතියේ ආධිපත්‍යය ප්‍රතිස්ථාපනය කිරීම සහ වෙනස් කොට සැලකීම් හා බෙදුම්වාදී දේශපාලනය තුරන් කිරීම ඇතුළු දීර්ඝ කාලීන ගැටලු සම්බන්ධයෙන් නව දිශාවක් ප්‍රතිඥා දෙමින්, ශ්‍රී ලංකාවට අතීතයෙන් මිදීමට අවස්ථාවක් උදා වී තිබෙනවා. මෙම කැපවීම් ප්‍රතිඵල බවට පරිවර්තනය කිරීමට දැන් පුළුල් මාර්ග සිතියමක් අවශ්‍ය වෙනවා..”

යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් වාර්තාව නිකුත් කරමින් කීවා.

..මෙම ක්‍රියාවලිය සිවිල් යුද්ධය සමයේ සිදුවූ මානව හිමිකම් උල්ලංඝනයන්, අපයෝජනයන් සහ අපරාධ පිළිබඳව, රාජ්‍යයේ සහ ආරක්ෂක අංශවල පුද්ගලයන් මෙන්ම එල්.ටී.ටී.ඊ. වැනි රාජ්‍ය නොවන සන්නද්ධ කණ්ඩායම්වල වගකීම් පිළිබඳව, සහ මෙම ප්‍රචණ්ඩත්වයේ වින්දිතයින්ට සහ ප්‍රජාවන්ට ඇති කල්පවත්නා බලපෑම පිළිබඳව පැහැදිලි සහ විධිමත් පිළිගැනීමකින් ආරම්භ විය යුතු බව ඔහු පවසනවා. ශ්‍රී ලංකාවේ මගේ සංචාරය අතරතුර මම සෘජුවම දුටු පරිදි, වින්දිතයින්ගේ වේදනාව සහ දුක් වේදනා තවමත් පැහැදිලිව පවතිනවා. සත්‍යය සහ යුක්තිය සඳහා ඔවුන්ගේ ඉල්ලීම් ආමන්ත්‍රණය කළ යුතුයි..”

යනුවෙන් මානව හිමිකම් කොමසාරිස්වරයා සඳහන් කර තිබෙනවා.

මහ කොමසාරිස්වරයාගේ ශ්‍රී ලංකා සංචාරයේදී රජය, සිවිල් සමාජය, වින්දිත කණ්ඩායම්, දේශපාලන පක්ෂ සහ ආගමික නායකයන් සමඟ කතාබහ කළා. ත්‍රිකුණාමලය, යාපනය සහ මහනුවර සංචාරය කළා.

..මෙම ක්‍රියාමාර්ග රජයේ ‘ජාතික සමගියදැක්ම සාක්ෂාත් කර ගැනීම සඳහා සහ සියල්ලටම වඩා අතීත උල්ලංඝනයන් නැවත කිසිදා සිදු නොවන බව සහතික කිරීම සඳහා අතිශයින් වැදගත් ‍ වෙනවා..”

යනුවෙන් ටර්ක් පැවසුවා. ශ්‍රී ලංකාවට වගවීම, ප්‍රතිසංහිඳියාව සහ මානව හිමිකම් ඉදිරියට ගෙන යාමට සහය දැක්වීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලයේ අඛණ්ඩ කැපවීම ඔහු නැවත අවධාරණය කළා.

ස්වාධීන අභිචෝධක කාර්යාලයක් වාර්තාවෙන් යෝජනා කර තිබෙනවා. බරපතල මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ ජාත්‍යන්තර මානුෂීය නීතියේ බරපතල කඩකිරීම් සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා ස්වාධීන විශේෂ නීති නිලධරයෙකු සහිත අධිකරණ යාන්ත්‍රණයක්ද යෝජනා කර තිබෙනවා.

උතුරු සහ නැගෙනහිර හමුදා සතුව ඇති ඉඩම් නිදහස් කරන ලෙස, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කරන ලෙස සහ දිගු කාලීන PTA සිරකරුවන්, ඔවුන්ගෙන් සමහරක් දැන් දශක ගණනාවක් සිරගතව සිටින බැවින්, ඔවුන් නිදහස් කරන ලෙසද ඉල්ලා සිටිනවා.

ජාත්‍යන්තර ප්‍රජාවට ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තරව අර්ථවත් වගවීම සහ ප්‍රතිසංහිඳියා ප්‍රයත්නයන්ට දායක වන ලෙස වාර්තාව ඉල්ලා සිටිනවා.

..ජාත්‍යන්තර නීතිය යටතේ අපරාධ විමර්ශනය කිරීම සහ නඩු පැවරීම සහ වගවීම සහතික කිරීමේ ප්‍රධාන වගකීම ශ්‍රී ලංකා රජය සතු වන අතර, මෙය ජාත්‍යන්තර ක්‍රම මගින් අනුපූරකව සහ සහාය දැක්විය හැකි..”

බව වාර්තාව පවසනවා.

PTA අහෝසි කිරීමට රජය කැපවීම් කර තිබියදීත්, නව රජය මිනිසුන් අත්අඩංගුවට ගැනීමට සහ රඳවා තබා ගැනීමට මෙම නීතිය දිගටම භාවිතා කර ඇති බව වාර්තාවේ සඳහන්. අඛණ්ඩව සිදුවන අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම් සහ රඳවා තබා ගැනීම්, වධහිංසා පැමිණවීම් සහ භාරයේ සිටියදී සිදුවන මරණ පිළිබඳව විස්තර කරන එම වාර්තාව, PTA පාවවිච්චි කිරීම වහා නැවැත්විය යුතු බව යෝජනා කරනවා.

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත, සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත සහ රාජ්‍ය නොවන සංවිධාන පනත, පුද්ගලික දත්ත ආරක්ෂණ පනතේ නවවැනි වගන්තිය වැනි නීතිරීති යොදාගෙන අදහස් ප්‍රකාශනයේ, රැස්වීමේ සහ සාමකාමී විරෝධය දැක්වීමේ අයිතිවාසිකම් සීමා කරන බව පෙන්වා දී තිබෙනවා. එම නීති අහෝසි කිරීමට හෝ සංශෝධනය කිරීමට වාර්තාවෙන් යෝජනා කර තිබෙනවා.

එමෙන්ම මෙම වාර්තාව තුළ ආර්ථික අයිතිවාසිකම්වලටත් අවධානය යොමු කරලා තියෙනවා. එය විශේෂ තත්වයක් ලෙස සැලකිය හැකියි. ආර්ථික අර්බුදයේ සහ වත්මන් ණය බරෙහි බරපතල බලපෑම්, විශේෂයෙන්ම දුප්පතුන් සහ වතු අංශයේ මලෛයාහර් දෙමළ ප්‍රජාව ඇතුළු අවදානමට ලක්විය හැකි වෙනත් තත්වයන්හි සිටින ශ්‍රී ලාංකිකයන් සියලු දෙනා කෙරෙහි ඇති කරන බලපෑම් ගැන එහි සඳහන් කර තිබෙනවා.

ඒ අනුව ආර්ථික, සමාජීය සහ සංස්කෘතික අයිතිවාසිකම් සාක්ෂාත් කර ගැනීම සඳහා අවශ්‍ය මූල්‍ය අවකාශයක් රජයට ලබා දෙන ලෙසත්, අරපිරිමැස්ම උදෙසා ගෙන ඇති මූල්‍යමය ක්‍රියාමාර්ගවලින් රටෙහි මානව හිමිකම් පිළිබද වගකීම් ඉටු කිරීමට ඇති හැකියාවට හානියක් නොවන බවට සහතික කරන ලෙසත් මහ කොමසාරිස්වරයා ජාත්‍යන්තර මූල්‍ය ආයතන සහ බාහිර ණය හිමියන්ගෙන් ඉල්ලා සිටිනවා.

ස්තූතිය-whatnews.lk

Leave a Reply

Your email address will not be published. Required fields are marked *