ප්‍රධාන පුවත්

“යුද්ධයේදී අපරාධ සිදුවුණා”! සිංහල මාධ්‍ය යටගැසූ රනිල්ගේ කතාව ලොවම කළඹයි!

මෑතකදී අල් ජසීරා නාලිකාව සමඟ පැවති ආන්දෝලනාත්මක සම්මුඛ සාකච්ඡාවකදී, හිටපු ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ, රට තුළ දශක ගණනාවක් පැවති සිවිල් යුද්ධයේදී සිදුවූ යුධ අපරාධ පිළිගැනීමට කටයුතු කළ අතර එය සිංහල ජනමාධ්‍යවලට පුවතක් නොවූව ද ජාත්‍යන්තර වශයෙන් විශාල අවදානයකට ලක් වී තිබේ.

2009 යුද්ධයේදී යුධ අපරාධ සිදු වූ බවට මෙරට ඉහළම පෙළේ නායකයෙකු පිළිගත් ප්‍රථම අවස්ථාව මෙය වන අතර රනිල් වික්‍රමසිංහ යුධ සමයේ සිටි විපක්ෂ නායකවරයා මෙන්ම යුධ සමයෙන් පසු අග්‍රාමාත්‍ය ධුරය සහ ජනාධිපති ධුරයන් දරමින් ශ්‍රී ලංකා රජය නියෝජනය කළ පුද්ගලයෙකි.

ඔහු එහිදී මුල්ලිවයික්කාල් රෝහල ඇතුළු රෝහල්වලට බර අවිවලින් පහරදීම පිළිගන්නා ලදී. කෙසේ වෙතත් ඔහු එය “යුද අපරාධ” ලෙස පැහැදිලිව පිළිගැනීමෙන් වැළකී සිටියේය. වික්‍රමසිංහ එහිදී “භයානක දේවල්” සිදුවූ බව ප්‍රකාශ කළේය. ඔහු එලෙස ප්‍රකාශ කළ ද යුද්ධයකදී රෝහල්වලට පහරදීම යුධ අපරාධයක් ලෙස ජාත්‍යන්තර නීතිය ඉදිරියේ පිළිගනු ලබයි.

විශේෂයෙන් මුල්ලිවයික්කාල්හි ගැටුමේ අවසාන අදියරේදී රෝහල් සහ සිවිල් ජනතාවට එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් ප්‍රශ්න කළ විට, ඔහු එය මඟහැරීමට උත්සාහ කළත් ප්‍රේක්ෂකාගාරයේ ඇති වූ නොසන්සුන්තාව හමුවේ වික්‍රමසිංහ පැවසුවේ “යුද්ධයේ අවසාන අදියරේදී ගැටලු ඇති වූ” බවයි.

ඔහු තවදුරටත් පිළිගත්තේ, “ඒ කාලයේ බර අවි ප්‍රහාර එල්ල වූ නමුත් අපට මැදිහත් වීමට හැකි වූ” බවයි. කෙසේ වෙතත්, යුද අපරාධ සිදු කර තිබේදැයි කෙලින්ම විමසූ විට වික්‍රමසිංහ ප්‍රතිචාර දැක්වූයේ “ඒවා යුද අපරාධ නොව භයානක දේවල්” බවයි.

වික්‍රමසිංහ වැඩිදුරටත් පැවසුවේ, “මුල්ලිවයික්කාල් සිද්ධියට සම්බන්ධ වූ අය සොයා ගැනීමට අපි උත්සාහ කරන” බවයි. කෙසේ වෙතත්, කිසියම් විමර්‍ශනයක ප්‍රගතිය හෝ නඩු පැවරීමේ හැකියාව පිළිබඳව ඔහු වැඩි විස්තරයක් ලබා දුන්නේ නැත.

යුද්ධයේ අවසාන අදියරේදී ශ්‍රී ලංකා රජය විසින් ‘යුධ මුක්ත කලාප‘ නම් කරනු ලැබූ අතර, එම යුධ මුක්ත කලාපයට පසුව බෝම්බ ප්‍රහාර එල්ල කරමින් සිවිල් වැසියන් ඉලක්ක කළ බවට බරපතල චෝදනා එල්ල විය. ෂෙල් සහ ගුවන් ප්‍රහාර එල්ල කළ බව වීඩියෝ සහ ඇසින් දුටු සාක්ෂ්‍ය ඉදිරිපත් කර තිබුණු අතර ශ්‍රී ලංකාවේ ඉහළ මිලිටරිමය නිලධාරීන්, රජයේ නියෝජිතයන් මෙන්ම බලයේ සිටින සහ හිටපු ජනධිපතිවරුන් ඇතුළු දේශපාලන නායකයන් එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන ලදී. ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයෙකු එම චෝදනා නැගුණු අවස්ථාවක එය ප්‍රතික්ෂේප නොකර භයානක දේවල් සිදු වූ බව ප්‍රසිද්ධියේ කී පළවැනි අවස්ථාව මෙයයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය 2011 දී මහලේකම්වරයාගේ විශේෂඥ කමිටු වාර්‍තාවක මෙම චෝදනා ඇතුළත් කර තිබුණි. ඊට අමතරව ජාත්‍යන්තර සංවිධානවල වාර්‍තා, ජනමාධ්‍ය වාර්‍තා ඇතුළු වාර්‍තා ගණනාවක මෙම චෝදනා ඇතුළත් විය.

රනිල් වික්‍රමසිංහ යුධ අපරාධ චෝදනා පිළිගනිමින් අදහස් දැක්වීම වගවීම ඉල්ලා ක්‍රියාකරන ජාත්‍යන්තර ක්‍රියාකාරීන් විසින් නුදුරේදී තදින් ඉස්මතු කරනු ඇතැයි විචාරකයෝ පවසති.

අදාල සාකච්ඡාවේදී ශ්‍රී ලංකා රජය විසින් සිදුකර ඇති ඝාතන, අපරාධ සහ මානව හිමිකම් කඩකිරීම් රැසක් පිළිබඳ වික්‍රමසිංහගෙන් ප්‍රශ්න කරන ලද අතර අවස්ථා කිහිපයකදී ඔහු නිරුත්තර විය.

තරිඳු උඩුවරගෙදර විසිනි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *