චිලියේ ක්‍රීඩාංගණය : Chile Stadium
නිව් යෝර්ක් ප්‍රහාරයට පෙර සිදුවූ චිලියේ හමුදා කුමන්ත්‍රණය සිදුවන්නේත් අද වගේ දවසක.
වික්ටර් හාරා ගේ මැනිෆෙස්ටෝව සහ චිලියේ ක්‍රීඩාංගණය චිලියේ ඒ දේශපාලන මතක මේ මොහොතට ගෙන එන කලා කෘති දෙකක්.
ඒ අතුරින් චිලියේ ක්‍රීඩාංගණය වික්ටර් හාරා තම මරණ මංචකයේදී ලියා තැබූවක්.
චිලියේ ක්‍රීඩාංගණය (Chile Stadium)
මේ නගරයේ මේ කුඩා කොටසේ
පන්දහසක් වන අපි සිරවී සිටිමු.
අපේ ගණන හරියටම පන්දහසක්
මම විස්මයට පත් වෙමි
සියලු ගම් නගර සහ මේ මුළු බිමේ ම
අපි මෙන් කොතරම් පිරිසක් සිටිත් දැයි කියා?
මා සිරවී සිටින මේ කුඩා බිම්කඩේ පමණක්
ජීවිතය වෙනුවෙන් අලුත් බිජු සිටුවන,
චිලියේ ෆැක්ටේරි නොනවත්වා දුවවන අත් දසදහසක්.
මනුෂ්‍යයාව මේ ලෙසින් යමෙකුට
කුසගින්නට, සීතලට, ත්‍රාසයට, වේදනාවට,
පිඩනයට, ත්‍රස්තවාදයට සහ උමතුවට නිරාවරණය කළ හැකිද?
අපෙන් හයක් අපට අහිමි උනා
තරු පිරුණු හිස්කමකට ඔවුන්ව ඇදගත්තා වාගේ
එකෙක් මිය ගියා
තවෙකෙක්, මනුෂ්‍යයෙකුට තවත් මනුෂ්‍යයෙකුට මෙසේ පහර දිය හැකිදැයි ඔබ විස්වාස නොකරන තරම් පහර කෑවා
අනෙක් සතර දෙනාට සිය දිවි අහිමි කර ගන්න තැත් කළා
තවත් මේ බිහිසුණූකම දරාගත නොහැකිව
ඒ අතුරින් එකෙක් හිස්බවට පලා ගියා.
තවෙකෙක් මරණයේ නියත බැල්ම ඉදිරියේ
හිස තදින් බිත්ති වල හප්පා ගත්තා.
ෆැසිස්වාදය කොතරම් භීෂණයක් නිර්මාණය කර ඇත්ද ?
පිහිතුඩු වැනි තියුණු බවකින් ඔවුහු සියල්ල සැලසුම් කරති
අන් කිසිවක් ඔවුහු නොසලකති
ඔවුනට,
ලේ යනු පදක්කම්,
ඝාතනය යනු වීරත්වය,
අහෝ දෙවියනි, මෙයද ඔබ මැවූ ලෝකය?
දින හතක අරුමය සහ ඔබේ සියලු අනුහසින් කළ කාර්යය?
මම ඔබෙන් අසමි!
මේ බිත්ති හතර ඇතුලේ
පවතින්නේ ඉලක්කම් පමණි
ඒ ඉලක්කම් පතන්නේ ජීවිතය නොව සෙමෙන් එළබෙන මරණයම පමණි
ඒ කෙසේ වෙතත් කොම්රේඩ්,
එකවිටම මට පියවි සිහියට එමි
මේ කුරිරු රැල්ලට ගැහෙන හදවතක් නැති බව පමණක් සිතමි,
මූනිච්චාවට සිනාසෙන මේ කුරිරු රැල්ලට ඇත්තේ
මැෂින් වලින් නැගෙන නාඩියක් පමණි.
මේ කුරිරුකමට එරෙහිව
මෙක්සිකෝවට, කියුබාවට සහ ලෝකයට
හඩනගන්න දවසක් ඒවි!
සිරවී සිටින අපේ මේ අත් දහදහසට මේ මොහොතේ
කිසිවක් කළ නොහැකියි
නමුත් මේ මුළු බිමේ අපි වැනි කී දෙනෙක් සිටිත් ද?
කොම්රේඩ් අයියන්දේ ගේ ලේ හැලුණු මේ බිමේ,
හෙලන සියලු බෝම්බ සහ මැෂින් තුවක්කු වලට වඩා බලවත්ව,
අපේ අත් නැවත වරක් සටන් කරනු ඇත!
භීතිය ගැන ගයන විට
ඒ ගැයුම කොතරම් අසීරුද
මම මේ ජීවත්වෙන භීතිය,
මම මේ ලෙස මියෙන භීතිය,
මේ සියල්ල සහ එහි අපරිමිත නිමේශ,
අතර සිරව සිටිමින මා
මගේ මේ ගීය අවසන් කරනු ඇත්තේ ලතෝනියකින් සහ නිහැඬියාවකින්
මා මේ දකින සියල්ල මා කිදිනකවත් දැක නැත්තෙමි
ඒ කෙසේවෙතත්,
මට මේ දැනුන සියල්ලත්
දුටු සියල්ලත්
කෙදිනක හෝ
අලුත් යමකට පණ දෙනු ඇති බව පමණක් මම කියමි!
වික්ටර් හාරා -1973 සැප්තැම්බර් [පරිවර්තනය, කල්ප රාජපක්ෂ]

