නවතම පුවත්පරිවර්තනවිශේෂාංග

වදන : පැබ්ලෝ නෙරූඩා

වදන උපන්නේ රුධිරය තුළ,

අඳුරු සිරුර තුළ වැඩෙමින්, ගැහෙමින්

තොල් සහ මුවින්,

එය නික්ම ගියා.

ගව් ගණනක් දුර වුවත්

අත දිග හරින මානයේ වුවත්

වදන,

අපේ මළ මුතුන් මිත්තන් සහ ඉබාගාතේ ඇවිද ගිය සකල විධ මනුෂ්‍ය වර්ගයාගේන්,

ඝනිභුතව ගල්කුළු බවට හැරුණු බිම්කඩ වලින්,

දුක්පත් ගෝත්‍ර වලින් විඩාපත් බිම්වලින්,

ශෝකය නැවත තම ගමන ඇරඹු පසු,

ඒ සියලු මනුෂ්‍යයෝ,

ජලයත් පෙරළු නැවුම් පසත් වැළද ගෙන,

තමන්ගේ වචන නැවත රෝපණය කරන්නට,

පෙරමුණ ගත්හ.

එමනිසාවෙන්,

මෙය අපේ උරුමය;

අපේ මුතුන්මිත්තන්,

සහ

ආලෝකයට තවමත් නිරාවරණය නොවූ

අනාගතය සහ අලුත්ම ලෝකය සමග

අපි එකිනෙකා හමුවන තරංග ආයාමය.

තවමත් මේ වාතලය

නැගූ පළමු වදනින් සසල වෙයි,

ප්‍රචණ්ඩත්වයෙන් සහ සුසුම්ලෑමේන්

ආවේශ වී.

එය

අන්ධකාරයෙන් නැගෙයි.

මෙතුවක්,

ඒ නැගූ පළමු වදන තරම්,

මහා හෙණයකින්වත්,

එවන් අයෝමය හඬක් නැගී නැත,

නැගූ පළමු වදන –

ඇතැම්විට,

එය හුදු දිය රළක් වන්නට ඇත,

එක් දිය බිදුවක්,

එනමුත්,

ඉන් නැගුනු මහා තිමිරය

නොනවත්වා ඇද හැලෙයි…ඇද හැලෙයි…

ඉන් ඉක්බිති,

වදන අරුතින් පිරෙන්නට පටන් ගති.

සැමවිටම දරුවන්ගෙන්, එය ජීවයෙන් පිරෙන්නට පටන් ගති.

සැමදෙයම, උත්පත්තීන් සහ හඬවල් විය –

තහවුරු කිරීම, පැහැදිලි බව, ශක්තිය,

නිෂේධනය, විනාශය, මරණය—

ක්‍රියාව සියලු බලයන්ගේ අධිපතිත්වය ගත්තේ ය,

තවද,

ක්‍රියාව එහි ලාලිත්‍යය නම් බාහු බලයෙන්,

පැවැත්ම සාරය සමග සම්භෝගයේ යෙදවී ය.

මනුෂ්‍යය වදන, මාත්‍රාව,

ආලෝකයත් ස්ථිරසාර දීප්තියත් විහිදුවන්නා වූ පියාපත,

ප්‍රකාශනයේ රුධිරයෙන් පිරෙන

ප්‍රවේණියේ මධු බඳුන –

ඒ මෙතැනයි,

මනුෂ්‍යය වදනේ සමස්තය සමග

නිහඬ බව දෑත් පටලවා ගන්නා මොහොත,

තවද,

මනුස්සයෙකුට කතා නොකර සිටීම මරණයෙන් නොවෙනස් බව –

භාෂාව කෙස් අග්ගිස්ස තෙක් විනිවිද ගොස් ඇත,

තොල් නොසලවා මුව පවසයි,

එක වරම, ඇස් වදන් බවට හැරෙයි.

වදනක් රැගෙන මම එය මගේ සංවේදන හරහා යවමි

එය හුදු මනුෂ්‍යය ස්වරූපයක් හැර අන් යමක් නොවන්නේ නමුදු;

එහි වින්‍යාසය මා අවදි කරයි…අනුනාදිත සියලු භාෂිත වදන් අතුරින් මම,

මගේ මාවත සොයා ගනිමි –

මම හඬ නගමි, මම පවතිමි, නිරුත්තර වෙමි,

වදන් කෙළවර නිහඬ බවටද මම පිවිසෙමි.

සව්දිය පුරමි වදනට මා,

මධු කුසලානයක ලු වදනක් ඉහලට ඔසවමින්.

එතුළ සමරමි,

භාෂාවේ සැබෑ රත් වයින් රස,

නොඑසේනම්,

ක්ෂය නොවන ජලයේ රස,

වදනේ මව්වත් සාරය,

ඒ බඳුන, ජලය සහ වයින්,

මගේ ගීතය පුබුදුවයි

මක් නිසාද යත්,

ක්‍රියාව යනු ප්‍රභවය සහ ප්‍රාණවත් ජීවිතය බැවින් – එය රුධිරයයි.

රුධිරය,

එහි මූල ධාතුවම දක්වන,

තවද එහි නිද්‍රාව එහි ගමන අහෝසි කරන.

වදන්,

වීදුරු විදුරු බවටත්,

රුධිරය රුධිරය බවටත්,

ජීවිතය ජීවිතය බවටත්

පෙරළයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *